තංගල්ල වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 07කට එරෙහි නඩුවේ මුල් නඩු වාර්තාව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත යවා ඇති බැවින් මෙම අධිකරණයේ නඩු කටයුතු අවසන් කරන බව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (07) දැනුම් දී තිබේ.
නිතිපතිවරයා විසින් මෙම සිද්ධියට අදාළව චූදිතයින් හත් දෙනෙකුට එරෙහිව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බැවින් මෙම අධිකරණයේ පවතින නඩුව අවසන් කරන ලෙසට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙහි සෙසු චූදිතයන් 06 දෙනා වන්නේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියන ආරච්චිගේ ප‍්‍රසාද් හර්ෂාන් ද සිල්වා එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී ගමඇති රාළලාගේ භද්‍රා උදුලාවතී කමලාදාස, සුසම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර අබ‍්‍රහම් ගලප්පත්ති, මාරුක්කු දේවගේ මහින්ද සාලිය සහ මාදම්පෙරුම ආරච්චිලාගේ මල්ලිකා යන අයයි.
කෙසේ නමුත් මෙම ස්මාරක ඉදි කිරීම සඳහා තමන් අවභාවිතා කළ මුදල් නැවත නාගරික සංවර්ධන අධිකාරිය වෙත ගෙවනු ලැබූ බව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ය.









