අධිකරණය සම්බන්ධ ප‍්‍රශ්නයේදී එජාපය සිටින්නේ දෙබිඩි පිළිවෙතක – අනුර

අධිකරණය සම්බන්ධ ප‍්‍රශ්නයේදී එක්සත් ජාතික පක්ෂය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවත් එජාප නායකයා නොපැසුණු කි‍්‍රයාමාර්ග ගනිමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (01) පෙරවරුවේ එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි. එහිදී මාධ්‍ය වේදීන් තවදුරටත් නැගූ ප්‍රශ්නවලට ලබාදුන් පිළිතුරු සහිත ප්‍රකාශය පහත පළවේ.

“එක්සත් ජාතික පක්ෂයට වෙනත් පක්ෂ එකතු කිරීමට පෙර එක්සත් ජාතික පක්ෂය එක තැනකට එක් විය යුතුයි කියලා අපි කියනවා. ඒ වගේම මෙම අධිකරණය සම්බන්ධ ප‍්‍රශ්නයේදී අනුගමනය කරමින් සිටින දෙබිඩි පිළිවෙත අත්හරින්න කියලා කියනවා. අධිකරණය පිළිබඳ විශාල විවාදයක් පසුගිය 25 වෙනිදා පාර්ලිමේන්තුවේදී සිදුකළා. නමුත් විපක්ෂ නායකවරයා එක විනාඩියක් පාර්ලිමේන්තු සභාගර්භයේ සිටියේ නැහැ. විපක්ෂ නායකයාවරයා ලෙස ඔහු මේ පිළිබඳව සිදුකළ ප‍්‍රකාශය මොකක්ද? ඔහු ඉතාමත් බාල, නොපැසුණු කි‍්‍රයාමාර්ග ගනිමින් ඉන්නවා. ඔහු අධිකරණය සම්බන්ධයෙන් කළකිරීමක ඉන්නවා වෙන්න පුළුවන්. මොකද පසුගිය දිනවල ඔහුගේ කි‍්‍රයාමාර්ග කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණය වාරණ නියෝග නිකුත් කළා. එනිසා ඒ පිළිබඳ ක්‍රෝධයකින් සිටින බවත් පේන්න තියෙන්නේ. මේ ප‍්‍රශ්නය පිළිබඳ එජාපය හරිතැනකට පැමිණෙන්නේ නැතිව වෙනත් පක්ෂවලට කතා කිරීමෙන් පලක් නැහැ.

වීරවංශ මහතා අපේ සහාය ඉල්ලන්නේ මොකටද? වීරවංශ සන්ධාන ආණ්ඩුවේ නකුටද? ඔහු පෙන්වමින් සිටින්නේ ඔහු සන්ධාන ආණ්ඩුවේ සිරස විදියට. නමුත් අපිට පෙන්නේ නකුට වගේ. ඔහුට 13 අහෝසි කිරීමට අපිත් සමග සාකච්ඡා මොකටද? 2/3කේ බලයක් තිබෙන ආණ්ඩුවක්නේ මේ. 18 සම්මත කරගන්නකොට වෙන කාගෙන්වත් ඇහුව්වද?. මේ ආණ්ඩුව ඔලු කිහිපයක් තියෙන ආණ්ඩුවක් එක එක අවස්ථාවක එක එක ඔලු එලියට දමමින් සිටිනවා. එවැනි නාටකයක් තමයි මේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමේදී මන්ත‍්‍රීවරු 07 දෙනෙකු ඇතුළත් වෙනවා. මාසයක් ඇතුළත වාර්තාවක් ලබාදිය යුතුයි. නමුත් එලෙස කි‍්‍රයාත්මක වෙලා නැහැ කිසිදු තේරීම් කාරක සභාවක්. එනිසා ජවිපෙ මෙම කාරක සභා පිළිබඳ දරන්නේ මෙහෙම මතයක්. තේරීම් කාරක සභාවට ඉදිරිපත් වන කරුණු පිළිබඳ සැලකිල්ලට ගෙන අධ්‍යනය කරලා තමයි යනවද නැද්ද කියලා තීරණය කරන්නේ.”

ආශ්‍රිත පුවත්

අගවිනිසුරුවරිය ඉවත් කිරීමට ආණ්ඩුව කුමන්ත්‍රණයක – අනුර

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සූදානම් ?

ඔව් අපි විශ්වාසභංගයක් ගේනවා – විජිත් විජිමුනි සොයිසා

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය කතානායකට භාරදෙයි

ඒකාධිපති වියරුවේ අලුත්ම ගොදුර අධිකරණයයි – ජවිපෙ

Facebook
Twitter
LinkedIn