මහජනතාව දුම්පානයෙන් වළක්වා ගැනීමේ අරමුණ පෙරදැරිව ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ දුම්කොළ නිෂ්පාදන රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් නොකිරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සෞඛ්‍ය අමාත්‍ය මෙත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය නියෝගකර තිබේ.
පොල්ගස්ඕවිට පදිංචි 64 හැවිරිදි විහ්‍රාමික උපාධිධාරී ගුරුවරයෙකු වන ජයසූරිය හේවගේ සිරිල් පද්මසිරි ද සිල්වා මහතා විසින් ගොනුකර තිබූ එම පෙත්සම සිසිර ද තාබෲ සහ සුනිල් රාජපක්ෂ යන විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවූ අවස්ථාවේදී එම නියෝග නිකුත් කෙරිණි.
පවතින තත්වය යටතේ ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට හෝ අදාළ රෙගුලාසි දුරවල කොට ඉදිරිපත්කිරීමට ඉඩ ඇති බවැවින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලෙසට සෞඛ්‍ය ඇමතිවරයාට මැන්ඩාවුස් රීට් ආඥාවක් මගින් නියෝගයක් කරන ලෙසත් එම රෙගුලාසි දුර්වල කොට ඉදිරිපත්කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ඇත.
ගැසට් නිවේදනයේ සඳහන් රෙගුලාසි සකස් කිරීම සඳහා හේතුපාදකවූ කරුණු හා ඒ සඳහා උපයෝගී කොටගත් ලිපි ලේඛන අධිකරණය හමුවට කැඳවා පෙත්සම විභාගයට ගන්නා ලෙසත් හෙතෙම අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
එම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කොට තිබූ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන දුම්කොළ හා මධ්‍යසාර පාලන අධිකාරියේ සභාපතිවරයාට හා නීතිපතිවරයාට මෙම 12වැනිදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යැවීමට නියෝග කර ඇත.









