අධිකරණය බියවද්දා, ඒකාධිපති පාලනයකට ආණ්ඩුව ගමන් කරමින් සිටිනවා – ජවිපෙ

ආණ්ඩුවට අභියෝගයක් වන්නේ යැයි සිතන අවස්ථාවලදී නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව පැත්තකට දමා රටට ඉතා හානිකර ව්‍යවස්ථාපිත ඒකාධිපති පාලනයක්කරා වර්තමාන ආණ්ඩුව ගමන් කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. අද (29) උදේ එම පක්ෂයේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව පැවැසීය.

අධිකරණය සහ ආණ්ඩුව අතර දිවිනැගුම පනත් කෙටුම්පත මූලික කර ගනිමින් ඇතිවී තිබෙන ගැටීම මේ වනවිට උග්‍රඅතට හැරී ඇතැයිද එහි ප්‍රතිඵලයක් වශයෙන් අධිකරණය බිය වද්දමින් ආණ්ඩුවට වාසි තීන්දු ලබාගැනීමටත් අගවිනිසුරුවරියට ඉල්ලා අස්වීමට බලකෙරෙන වටපිටාවක් ඇතිකර ගැනීමටත් නැතහොත් දෝෂාභියෝගයක් මගින් ඉවත් කිරීමටත් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව මෙහිදී හෙළිකළේය.

රාජපක්ෂ පවුල් පාලනයක් ඇති කරමින් ව්‍යවස්ථාපිත ඒකාධිපති පාලනයක් ගෙනයාමට දරන මේ ප්‍රයත්නයට එරෙහිව සියලු දෙනා ඒකරාශී වී පරාජය කළයුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ ඒ සඳහා අවශ්‍ය පූර්ණ මැදහත්වීම කරන බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

 

Facebook
Twitter
LinkedIn