මාව දේශපාලනයට ගෙන ඒම කාලය සහ ජනතාව සිදු කරාවි – කේ. පී

තමන් ඉදිරියේදී උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයා ‍වීම සම්බන්ධයෙන් තවම අදහසක් නොමැති නමුත් තමන්ව දේශපාලනයට ගෙන ඒම කාලය සහ ජනතාව විසින් සිදුකරනු ඇති බවත් තමන් දැනටමත් ජනතා සේවයේ නිරතව සිටින බවත් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු ජාත්‍යන්තර කටයුතු ප‍්‍රධානී කුමරන් පද්මනාදන් හෙවත් කේ. පී. මෙරට මාධ්‍යවේදීන් අමතා පවසා ඇත.

එල්. ටී. ටී. ඊ. සංවිධානය වෙනම රාජ්‍යයක් වෙනුවෙන් අවි අයුධ ගැනීම සහ ඒ වෙනුවෙන් යුද්ධ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේන් විමසූවිට ඔහු පවසන්නේ “ඒ කාලේ අපිට විකල්පයක් තිබුනේ නෑහැ. ඒ නිසා ආයුධ අතට ගත්තා. ඒ කාලේ යුද්ධ කරපු එක දෙමළ ජනතාවගේ පැත්තෙන් හරි. කොහොමවුනත් අපි යුද්ධයෙන් පැරදුනා. ඒකෙන් අත්දැකීම් ගොඩාක් ගත්තා. කාලයත් සමග සියල්ල වෙනස්වුනා. ඒ අනුව අපිත් වෙනස්වුනා.” යනුවෙනි.

“වර්තමානයේ, අනාගත පරපුර සැකෙන් ඉන්නේ. ඔවුන්ට ජීවත්වීමට සුදුසු පරිසරයක් සකස් කර දීම මගේ අරමුණයි. ඒ වෙනුවෙන් දෙමළ ජනතාවගේ අධ්‍යාපන යටිතල පහසුකම් ඉලක්ක කරගත්ත වැඩපිළිවෙලක මම දැන් නිරතවෙලා ඉන්නවා. මම ශීෂ්‍යයෙක්ව ඉන්න කාලෙත් ජනතාවට සේවය කරන්නයි බලාපොරොත්තු වුනේ. ඒ අනුව කාලය හා වුවමනාවන්ට අනුව වර්තමානයේ ‍වෙනස් වෙන්න සිදුවුනා. දැන් ඒ අනුව කටයුතු කැනවා.” යැයි ඔහු නිදහසේ රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියෙකුව වැඩකිරීමට හැකිවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් වෙත පවසා තිබේ.

ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් එරට රජය කේ. පී. වරදකරුවෙකු කර තිබීම සහ ජාත්‍යන්තර පොලීසියට ඔහු අවශ්‍ය පුද්ගලයෙකු බවට නම් කර තිබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇත්තේ තමන් සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ ඉන්දීය රජය විසින් බවයි.

Facebook
Twitter
LinkedIn