ආණ්ඩුව මේ දවස්වල මරාගෙන මැරෙන සටනක් දෙන්නේ දිවි නැගුමටය. දිවිනැගුම වෙනුවෙන් දිවි පරදුවට තියා වැඩය. මහ ඇමතිකම රැකගැනීමට පසුගියදා එකිනෙකා මරාගත්තේ පළාත් සභාවේය. දැන් ආණ්ඩුවට ඒ පළාත් සභා ක්‍රමයත් එපාම වෙලාය. පළාත් සභා අහෝසි කරන්නම කථා කරන්නේත් ආණ්ඩුවමය. ආණ්ඩුවේම පක්ෂ හදිස්සියේ හීනෙන් ඇහැරිලා වගේ පළාත් සභා ක්‍රමයත් 13 වැනි ව්‍යවස්ථා සංසෝධනයත් අහෝසි කරන්න කථා කරන්නේ චම්පිකය. විමල්ය. ගෝඨාභයය. ආණ්ඩුවට එකවරම පළාත් සභා අහෝසි කරන්න හදිස්සියක් හැදුනේ කොහොමද? හේතුව පැහැදිලිය. ඒ දිවි නැගුමය.
13ට එහා ගිය 13 ප්ලස්වලටම බලය බෙදන්න තමන් සුදානම් යැයි එක වෙලාවකට කියන්නේත් ආණ්ඩුවමය. ආණ්ඩුවේ නායකයෝමය. ඒ දේශපාලනය බේරාගන්නටය. දැන් පළාත් සභාවලට එරෙහිව දේශපාලනය පරදුවට තබා තියෙන්නේ දිවි නැගුම බේරා ගන්නටය. දිවි නැගුම පනත ගෙනාවේ පාර්ලිමේන්තුවෙන්ම සමෘද්ධිය අහෝසි කර ඒ සියල්ල දිවි නැගුම හරවා ගන්නය. පනතේ හැටියට නම් දිවි නැගුම කියනවාට වඩා බැසිල් නැගුම යැයි නම දීම අගනේය.
දිවි නැගුම පහසුවෙන් පාර්ලිමේන්තුවෙන් පමණක් සම්මත කරගැනීමට නොහැකි විය. ඒ නිසා පළාත් සභා සියල්ලේම අවසරය අවශ්‍ය විය. ගැටලුව ඇත්තේ එතනය. අවසර ගැනීම පහසුය. ඉන්නේ තමන්ගේ ඇඟෙන් ඇටයක් ගලවා ගත්තත් හායි කියා අත ඔසවා අනුමැතිය දෙන පලා බබාලාය. නමුත් උතුරට පළාත් සභාවක් තවම පිහිටුවා නැතිය. ඉන්නේ ආණ්ඩුකාරවරයාය. නමුත් දැන් ගැටලුව වී ඇත්තේ ආණ්ඩුකාරවරයාගේ අත්සන පමණක් පළාත් සභාවේ අනුමැතිය ලැබෙනවාද යන්නයි. ආයෙත් ප්රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය පැත්තට ගියේ ඒකය. ආණ්ඩුවට වෙලාවකට රට හැදීමෙ හොඳම ක්‍රමය වන පළාත් සභාව දැන් ඇණයක් වී ඇත්තේ තමන්ට රිසි ලෙස දිවි නැගුම හදා ගන්නට බාධාවක් වී ඇති නිසාය.
දිවි නැගුම හදා ගන්නේ මේ දවස්වල බෙදෙන ඇට පැකට් එක දෙන්න නම් නොවේය. සමෘද්ධිය දිවි නැගුම නොකළත් ඇට පැකට් එක බෙදා දෙන්න පුළුවන්ය. නමුත් මේ පළාත් සභා දෙවැනි කොට දඟලන්නේ සමෘද්ධි බැංකුවල ඇති රුපියල් කෝටි 5,500 ක් ඩැහැගන්නය. සමෘද්ධිය දේශපාලන හෙංචයියන්ගේ නොවේය. එය සමෘද්ධි ප්රතිලාභීන්ගේය. නමුත් දිවි නැගුම හදන්නේ එහෙම නොවේය. දිවි නැගුම අරමුදල ඇමැතිතුමාගේය. ඇමතිතුමා කැමැති ප්‍රමාණයක් සමෘද්ධි බැංකුවල මුදල් දිවි නැගුම අරමුදලට මාරුකල හැකිය. ගිලින්න යන නැවේ මීයොත් අන්තිම මොහොතේත් උත්සහා කරන්නේ පණ බේරා ගන්නය. ආණ්ඩුවත් එහෙමය. ජනතාවගේ අප්‍රසාදයෙන් ගැලවෙන්න ගමේ කටවුට් එක දාගන්න ක්‍රමයක් අවශ්‍යය. දිවි නැගුම ඒකටත් එක්කය.
ආණඩුවට අවශ්‍ය වෙලාවට ඉදිරිපත් කිරිමට ඕනෑම වර්ගයක කි‍්‍රඩකයන් ඉන්නවාය. මේ දිනවල ඉදිරිපෙල කි්රඩාකරන්නේ චම්පික වීරවංශ ගෝඨාභය වැනි ජාතිවාදි පෙරමුණේ කි්රඩාකයෝය. ඒ නිසා වාසු, ඩගලස්, රාජිත, ඩිලාන් වැනි බෙදුම් වාදි කි‍්‍රඩකයෝ පසු පෙලට ගොස් නිහඬව ඇත. දැන් 13 ප්ලස් වෙනුවට ඇතතේ 13 බිංදුව කිරීමේ මෙහෙයුමය. ඒකද ඇත්තට නොවේය. ඇත්තටම 13වන ව්‍යවස්ථාව අහෝසි කරනවා නම් ආණ්ඩුවට ඒ දේ 2010දි 2/3 ක් ලැබුණු මොහොතේම කල හැකිව තිබුනාය. එදා කිව්වේ 13 අහෝසි කරීමට නොවේය. 13 ප්ලස් දෙන්න තමන් සුදානම්ය කියලාය. එයද බෙදුම්වාදය වෙනුවෙන්ය. දැන් දිවිනැගුම නිසා මළ පැනිල්ලටය. විරවංශලා සිංහ වංශයෙන් දඟලන්නේ බොරුවටය. 13 අහෝසි කරන්න දැඟලුවාට පෙඩරල් ගේන විට පූස් පැටියන්ටත් වැඩිය මේ කට්ටිය කීකරුය. ඒ වෙලාවට කොහොමද ළමයි කෑම කියා ගුරුතුමා අහන්න කොට අතිවිශ්ෂඨයි සර් කියා කටු ලෙවකන්න මේ ඉදිරි පෙළට ගේන මේ දිනවල නටවන ළමෝ හරි දස්සයි.
ඉදිරි අයවැයෙන් 1/2ක්ම බෙදාගෙන ඇත්තේ රාජපක්ෂවරුන්මය. ඒ බව විසර්ජන ගිණුමෙන්ම පැහැදිලිය. විසර්ජන ගිණුමෙන් ජනාධිපති ධූරයට පමණක් වෙන්කර ගන්නා ප්‍රමාණය රුපියල් කෝටි 740 ක්ය. අවුරුද්දකට දින 365 ක්ය. ඒ කියන්නේ දිනකට ජනාධිපති තුමාගේ වියදමට වෙන්කර ඇති මුදල රු. කෝටි 2 ක් තරම් ‘සුළු මුදලක්ය’ ජනාධිපතිතුමා ලෙඩවුනු දවසටත් කෝටි 2 ක් වියදමය. එතුමා රට ගිය දවසටත් ලංකාවේ කට්ටිය කෝටි 2 ක් වියදම් කරාවිය. මදි පාඩුවක් ආවොත් අවුරුද්ද අගදී තවත් පරිපූරක ඇස්තමේන්තුවකින් වෙන් කරගත හැකිය.
අපූරුය. කෝටි 2ක රටේ ජනතාවගෙන් භාගයකට දවසකට රුපියල් 200 ආදායමක් නැතිය. 30%කට මාසයකටම පවුලක වියදමට රුපියල් 5,000 ක් උපයාගන්න බැරිය. එහෙවු රටේ ජනාධිපතිතුමාට විතරක් දවසකට රුපියල් කෝටි 2ක් වියදම කරන්න වෙන් කරගන්නවාය. එතුමාට ළිං බද්ද නැතිය. ජල ගාස්තු 20% ක් ඔක්තෝබර් සිට වැඩිවීමත් අදාල නැතිය. සීට් බෙල්ට් (බඳ පටිය) නොදා රිය පැදවීමේ බද්දත් එතුමාට ගහන්න ක්‍රමයක් නැතිය. ඒත් වියදම දවසට කෝටි 2 ක් වෙන් කර තිබේය. ජනතාවට සියලු බදු බරය. දිවි අමාරුව දන්නේ ජනාධිපතිට නොව ජනතාවටය. නමුත් අය වැයෙන් ජනතාවගේ පඩි වැඩි කරන්න කතා කළාම හරිම අමාරුය. ඒකට ගුරුවරුන් පාගමන් යා යුතුය. උද්ඝෝෂණ අවශ්‍යය. කඳුලු ගෑස් යහමින් කෑ යුතුය. ජනතාවට එහෙමය. ජනාධිපතිට මෙහෙමය. ජනාධිපතිතුමාට විතරක් නොවේය. මාසයකට රුපියල් 5,000 කින්වත් පඩි වැඩි කරන්න බැරි අය වැයේම රාජකාරියක් නැති ජේෂ්ඨ ඇමතිවරුන්ට වියදම රුපියල් කෝටි 39ක්ය. ලෙඩ ඇඳේ ඉන්න අගමැතිට වියදම කෝටි 32ක්ය. ජනාධිපතිතුමාගේ 740 ට එකතු කළාම ඇමති වරු 12කට රටේ වියදම රුපියල් කෝටි 811ක්ය. දිනකට 811 බෙදීම 365ය.
දිවි නැගුමට දිවි පුදන්න ඇමතිවරුය, ආණ්ඩුවේම පක්ෂ ඉදිරිපත් වී ඇත්තේ ජනතාව වෙනුවෙන් නම් නොවේය. ආණ්ඩුව තුළ තමන්ගේ පැවැත්ම වෙනුවෙන්ය. ආණ්ඩුව යනු රාජපක්ෂවරුන්ය. ආණ්ඩුව රකිනවා යනු ජනතාව රැකීම නොව්ය. රාජපක්ෂවරුන් රැකීමය. ආණ්ඩුව (රාජපක්ෂවරුන්ට) රැකුණොත් තමන් රැකෙනවාය. විමල් චම්පික දෙබෑයෝ 13 ට එරෙහිව පලාත් සභා එරෙහිව පාරට බැස ඇත්තේ ඒකටය.
ජනතාව මේ බොරුව තේරුම්ගත යුතුය. දිවිනැගුම වෙනුවෙන් දිවි පිදීම තමන් උදෙසා නොවන බව තේරුම් ගත යුතුය. දිවි නැගුම තමන් වෙනුවෙන් නම් රුපියල් 1,500 ක් පමණ ප්රචාරයට වියදම් කර රුපියල් 40ක පමණ ඇට පැකට්ටුවක් බෙදීමය. දිවි නගින්නේ නැතිය. දිනකට තමන්ට රුපියල් කෝටි 2ක් වියදමට වෙන් කරගන්නා නායකයකු ජනතාව බඩ ගින්නේ තියන්නේ නැතිය. දිවි නැගුම බලය නැගුම සඳහා මිස ජනතාව සඳහා නොවන බව ජනතාව වටහා ගන්නා දිනය වැඩි දුරක නොවේය.
සුනිල් හඳුන්නෙත්ති
උපුටාගැනීම ඉරිදා ලක්බිම









