කේ.පී.ට චෝදනා නැගූ ආණ්ඩුවම අද නැහැ කියනවා – විජිත

කේ.පී.ට චෝදනා නැඟූ ආණ්ඩුවම අද වනවිට ඔහුට කිසිදු චෝදනාවක් නැති බව පවසන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

මන්ත්‍රීවරයා විසින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් මේ බව පවසා ඇත.

එහිදී විජිත හේරත් මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ, කේ.පී. කියන්නෙ දරුණු ගණයේ අපරාධකාරයෙක්, ඔහු ජාත්‍යන්තර පොලීසියෙනුත් හොයනවා, ප‍්‍රභාකරන්ට පස්සෙ ඊළඟට පත්වෙච්ච නායකයා, මොහු ආයුධ නැව් ලංකාවට එවල තියෙනවා, ඔහු පුද්ගල ඝාතන කර තියෙනවා, යැයි ගොඩක් චෝදනා නැඟුවේ මේ ආණ්ඩුවමයි.

නමුත් කේ. පී. ගැන එහෙම කියපු ආණ්ඩුවේම කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා අද කියනවා මොහුට විරුද්ධව චෝදනා නැහැ කියලා. අද ආණ්ඩුවේම රැකවණය මැද, ආණ්ඩුවේම වියදමින් කේ.පී. සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා.

එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ යැයි කිසිදු චෝදනාවක් නැතිව අත්අඩංගුවට ගත්ත තරුණයෝ දහස් ගණනක් අත්අඩංගුවේ තියාගෙන ඉන්න ගමන් තමයි මේ නායකයා කිසිදු චෝදනාවක් නැතිව නිදහස් කරල තියෙන්නෙ.  මේක ඒ තරුණයන්ට කරන අසාධාරණයක් වගේම, උතුරේ තරුණයින් තුළ නැවත වෛරයක් ඇති කරල අනාගතයේ නැති ප‍්‍රශ්නයක් මතු වෙන්න පුළුවන්.

කේ.පී. සතුව තිබිච්ච කෝටි ප‍්‍රකෝටි සල්ලි, රත්තරන්, ජාත්‍යන්තරයේ තිබුණ සම්පත්වලට මොකද වුණේ? කියන ප‍්‍රශ්නයට උත්තරයක් නොමැති නිසා කේ.පී.ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කරන්නෙ නැහැ කියන එක පැහැදිලියි යනුවෙනි.

Facebook
Twitter
LinkedIn