ජනපති ගුවන් යානයට පිරිසක් බිලි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඩුබායි බලා යෑමට සූදානම් කර තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයේ වායුසමීකරණය කාන්දුවීමක් නිසා වෙනත් ගුවන් යානයක් යොදාගැනීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්‍ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තීරණය කර ඇතැයි වාර්තාවේ.

මේ වනවිටත් එම ගුවන් යානය භාරව සිටි ප්‍රධාන ඉන්ජිනේරුවරයාගේ වැඩ තහනම් කර ඇති බව ඉතා විශ්වාස කටවයුතු ආරංචිමාර්ග අනාවරණය කරයි. එම ඉන්ජිනේරුවරයාට අමතරව එම ගුවන් යානයේ නියමුවා සහ සහායකයාද වැඩ තහනමකට ලක්කර ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන්කර සිටී.

එමෙන්ම අදාළ බලධාරීන්ට හැර ඔවුන්ගේ මිතුරන්ට, ඥාතීන්ට හෝ වෙනත් කිසිවෙකුට ඔවුන්ව මුනගැසීමට හෝ අවස්ථාවක් ලබාදී නැති අතර මෙම නිළධාරීන් සතු දුරකථනද නිළධාරීන් භාරයට ගෙන තිබේ.

ජනාධිපතිවරයා ඇතුළු පිරිස එම ගුවන් යානයෙන් පිටත්ව යෑමට නියමිතව තිබුණේ පෙරේදා (21) සවස 3ට වන අතර මේ සිද්ධිය නිසා එම ගුවන් සමාගමේ වෙනත් ගුවන් යානයක් සූදානම් කිරීමට පැයක් පමණ ප්‍රමාදවීම නිසා එම ගුවන් ගමන පැයකින් පමණ ප්‍රමාද වී ඇත.

එහි දෝෂ සහිත කොටස ‍ගලවා ඉවත් කර වෙනත් කොටසක් එයට සවිකිරීමට තීරණය වුවත් පසුව වෙනත් යානයක් සූදානම් කර ඇති අතර පසුව එම ගුවන් යානයෙන් එම සංචාරය සඳහා ජනාධිපතිතුමා පිටත්ව ගොස් ඇත.

Facebook
Twitter
LinkedIn