පසුගිය අගෝස්තු 05වැනි දින එක්සත් ජනපදය අඟහරු මත කියුරියෝසිටි යානාව ගොඩබස්වා මාධ්‍ය ඔස්සේ මහත් පුරසාරම් ලීලාවෙන් ඒ පිළිබඳව වර්ණනා කළේය. සැබැවින්ම ඇමරිකාවට ඒ පිළිබඳව ආඩම්බර වන්නටත් පුරසාරම් කියන්නටත් කරුණු නොතිබුණා නොවේ. සැප්තැම්බර් 25වැනි දින රාජපක්ෂ ආණ්ඩුවද ඊට නොදෙවැනි මාධ්‍ය සංදර්ශනයක් සූදානම් කළේය. ඒ, යුද්ධය හේතුවෙන් අවතැන් වූ සියලූ ජනතාව නැවත පදිංචි කර අවසන් බව ප්‍රකාශයට පත්කරමිනි.
යුද්ධය අවසන්වී වසර 03ක් ගතවී තිබියෙදීත් ජනාධිපතිවරයාම සහභාගි වූ රාජ්‍ය උත්සවයේදී කියා සිටියේ, මෙතරම් කෙටිකාලයක් තුළ යළි පදිංචිකිරීම් අවසන් කළ කිසිදු රටක් නැති බවය. ආණ්ඩුව විසින් හුදු මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කිරීමක් නොව රාජ්‍ය උත්සවයක් ප්‍රකාශයට පත්කොට මේ තරම් පුරසාරම් ලීලාවෙන් ප්‍රකාශ කරන බැවින් බොරුවක් කෙරෙනු ඇතැයි කිසිවෙකුත් අපේක්ෂා කළේ නැත. අවතැන්වූවන්ගේ ගැටලූව ආණ්ඩුවට ජාත්‍යන්තර වේදිකාවලදී නිතර පිළිතුරු දීමට සිදුවූ මාතෘකාවක් බැවින්ද අවතැන්වූවන් ඔවුන්ගේ මුල් ගම්බිම්වල පදිංචි කරවීමට කටයුතු යොදන බවට ආණ්ඩුව විසින් පොරොන්දුවී තිබූ බැවින්ද මෙම පියවර එබඳු චෝදනාවල අවසානය යැයි හැඟී ගියේය. නොවැම්බර් මාසයේදී ආණ්ඩුවට මානව හිමිකම් කමිටුවේ කලාපීය සමාලෝචන රැුස්වීමටද සහභාගි වීමට සිදුව තිබිණි.
ලංකාව තුළ තවදුරටත් යුද්ධයේ අවතැන්වූවන් නැතැයි කියනු ලැබුවේ, මේ තත්වය තුළය. පසුගිය 25වැනි දින වවුනියාව මැණික්ෆාම් හා සෙට්ටිකුලම කඳවුර වසා දමමින් ඒවායේ සිටි පවුල් 361කට අයත් දහසකට වැඩි පිරිසක් නැවත පදිංචි කරවනුු ලැබීය. එහෙත් කතාව දෝලාවෙන් වුවද ගමන සිදුවී ඇත්තේ පයින් බව මේ වන හෙළිවී අවසන්ය. මේ වන විට හෙළිදරව් වී ඇති තොරතුරු අනුව මෙම පදිංචි කරවීම් සිදුවී ඇත්තේ, ඔවුන් යාමට අපේක්ෂාවෙන් සිටි ඔවුන්ගේ මුල් ගම්වලට නොවේ. මෙහි බරපතළම තත්වය වනුයේ මැණික් ෆාම් කඳවුරේ සිටි පවුල් 110ක් පමණ මුලතිව් සීනිමෝට්ට ප්‍රදේශයේ අලූත එළිකරනු ලබන කැළැවකට ගෙන ගොස් දැමීමය. මොවුන් මුලතිව් කෝපාපිලොව් ගම්මානයේ කළින් පදිංචිව සිටියවුන්ය. ඒ ඔවුන්ගේ කැමැත්තට එරෙහිවය. කැමැත්තට එරෙහිව යන්නෙහි තේරුම බලහත්කාරයෙන් එය සිදුවී ඇති බවය.
එහිදී ජාත්‍යන්තර සමුළුවලට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළ හැක. ඒ අනුව එම නියෝජිතයන් කෙටි කාලයකට හෝ රැුවටීමට කටයුතු කළ හැකිය. එහෙත් ගැටලූව වන්නේ, ආණ්ඩුව තමන්ගේම රටේ ජනතාවට බොරු කිරීමය. කෝපාපිලොව් ගම්මානයට ඔවුන් නොයවා වෙනත් තැනක ‘පදිංචි කරවීම’ (අතහැර දැමීම* පිළිබඳව ආණ්ඩුවෙන් කිසිදු නිල පැහැදිලි කිරීමක් නොමැත. එහෙත් දැනගන්නට ඇත්තේ, හමුදාව විසින් එම ප්‍රදේශය පාවිචියට ගනිමින් ඇති බවය. මෙම ගම්මානය අත්හැරීමට බැරිතරම් ආරක්ෂාව අතින් වැදගත් ප්‍රදේශයක් වන්නේ ඇයි දැයි ආණ්ඩුවේ කිසිදු ප්‍රකාශයක මෙතෙක් සඳහන් වී නැත. එහෙත් ප්‍රතිඵලය වී ඇත්තේ එම ගම්වාසීන්ව සිටි ජනතාවට අලූත බුල්ඩෝසර් කරන ලද කැලෑ බිමක හට්ටි මුට්ටි කිහිපයක්, ලී දඩු කිහිපයක්, ටකරන් කිහිපයක් අතැතිව ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම් නොමැතිව ‘නව’ ජීවිතයක් අරඹන ලෙසට බලකිරීමය.
සීනිමෝට්ට ප්‍රදේශයේ බලහත්කාර පදිංචිකරුවන්ගේ ගැටලූව සමස්ත අවනඩුවේ එක් පැතිකඩක් පමණි. ආණ්ඩුව කලින් ප්‍රකාශයක් කරමින් වෙල්ලමුල්ලිවයිකාල් හි අත්හැර දමන ලද යානවාහන සුන්බුන් රැුගෙන යාමට එන ලෙස අයිතිකරුවන්ට දැනුම්දී තිබිණි. ඒ අනුව පැමිණි ජනතාවට සිදුව තිබුණේ එය පවසන ලද ක්‍රියාවලිය නොවන බවත් බඩු ආපසු භාර දීමට වඩා නොදීමට ගත් උත්සාහයක් බවත් තේරුම් ගැනීමටය. එහි අසාධාරණත්වය පෙන්නුම් කිරීමට ගොස් පහර කන්නටය. කිලිනොච්චියේ ක්‍රිෂ්ණපුරම් හා මලයාලපුරම් ප්‍රදේශවාසීන්ට මුහුණ පෑමට සිදුව ඇති ගැටලූව තවත් එකකි. ඔවුන්ගේ කුඹුරු ඉඩම් සිවිල් ආරක්ෂක බලකාය විසින් අත්පත් කරගෙන පුහුණු කටයුතු සඳහා යැයි කියමින් බුල්ඩෝසර් කරමින් තිබේ. යුද්ධය අවසන් වූ පසු කුඹුරු ගොඩකරමින් සිදුකරන මේ හදිසි පුහුණු කටයුත්ත කුමක්දැයි ඉඩම් අහිමිවන ගොවීන්ට මෙන්ම රටේ බොහෝ දෙනෙකුටද තේරුම් ගැනීමට නොහැකිය.
මේ ජනතාව දශක දෙකකට වැඩි කලයක් තැනින් තැනට සරණාගතයින් ලෙස ගමන් කළවුන්ය. මේ සිටින්නේ, එල්.ටී.ටී.ඊ.යේ අණ පරිදි මිනිස් පලිහවල් ලෙස තැනින් තැනට යන්නට, ඒ හේතුවෙන්ම හමුදාවේ ෂෙල් වෙඩිවලට ලක්වන්නට බලකෙරුණු ජනතාවය. යුද්ධයේ බිහිසුණු බව මැද වැන්දඹුවන් වන්නට, දරුවන්-දෙමව්පියන් අහිමි කරගන්නට එක රැුයකින් සියලූ වත්කම් අහිමි දිළින්දන් වන්නට බලකෙරුණු ජනතාවය. අහිමි වූ ජිවිතවලට මිලක් නියම කළ නොහැකි බව සැබෑය. එහෙත් ඔවුනට අහිමි වූ, අහිමි කරන ලද දේපොළ වෙනුවෙන් කිසිදු වන්දියක් හිමිව නැත. අවම තරමින් ඔවුන් ඉල්ලන්නේ, මිනිසුන්ට ජිවත්වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා හඳුනා ගන්නා ලෙසය; ආණ්ඩුවට තමන්ට මෙතෙක් ලබා දීමට අසමත්වූ මානව ගරුත්වය ලබා දෙන ලෙසය; තමන් රටේ පුරවැසියන් වශයෙන් තේරුම් ගන්නා ලෙසය.
ඔවුන්ගේ ඇස්වලින් තවමත් ගලා හැලෙන කඳුළු තවත් බොහෝ දේ අපට කියාපායි. ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ වාර්ෂික න්‍යාය පත්‍රයට අනුව තමන් ජීවත්වන ස්ථානය තීන්දු නොකරන ලෙසය; අධිරාජ්‍යවාදී රටවලට ලංකාවට බලපෑම් කිරීම සඳහා තමන් නිමිත්තක් කරගැනීමට ඉඩ නොසලසන ලෙසය.









