බණ්ඩාරවෙල එජාප සංවිධායක රඟපෑමක… මහ ඇමති කලබල වෙයි..

බණ්ඩාරවෙල එජාප සංවිධායක රඟපෑමක… මහ ඇමති කලබල වෙයි..

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2008 අප්‍රේල් මාසයේදීය. ඒ ඉරාන රජයේ ව්‍යාපෘතියක් ලෙසය. ව්‍යාපෘතිය ආරම්භවීමත් සමඟ එවකට ජවිපෙ බදුල්ල දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුව සිටි සමන්ත විද්‍යාරත්න මෙම ව්‍යාපෘතියෙන් විය හැකි අහිතකර ප‍්‍රතිවිපාක පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරවීය. පසුව මෙයට එරෙහිව නඩු කටයුතු ආරම්භ කිරීමටද කටයුතු කළේය. වසර කිහිපයක් ගතවන විට එහි අහිතකර බලපෑම් පිළිබඳව ප‍්‍රදේශයේ ඇතැම් පිරිස්වල අවධානය යොමූ වූ අතර සමන්ත විද්‍යාරත්නගේ මැදිහත්වීමෙන් ප‍්‍රදේශයේ නායක හාමුදුරුවන් වහන්සේලා සහ සිවිල් ක‍්‍රියාකාරීන් එක්ව 2010 වර්ෂයේදී උමා ඔය සුරැකීමේ සංවිධානය බිහි කරන ලදී. එම සංවිධානය මගින් මෙම ව්‍යාපෘතිය වැළැක්වීමට විවිධ ක‍්‍රියාමාර්ග ගත් නමුදු පසුගිය මහින්ද රාජපක්ෂ රජය මේ පිළිබඳව අවධානය යොමු නොකළේය. කෙසේ වෙතත් ජනතා විරෝධය එන්න එන්නම වැඩිවූ අතර 2015දී උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ ගොඩනැගීමට කටයුතු කෙරිණි.

මුල් කාලයේදී ජවිපෙ, සිවිල් ක‍්‍රියාකාරීන්, පරිසරවේදීන් මේ පිළිබඳව කරුණු පැහැදිලි කළද ප‍්‍රදේශයේ ජනතාව මෙය වැඩි අවධානයකට නොගත් අතර නිවාස, පුජනීය ස්ථාන, පාසල් ඉරිතැලීම්වලට ලක්වීමත් ළිං ඇතුළු ජල උල්පත් සිඳී යෑමට ආරම්භ වීමත් සමඟ ජනතාව අනතුර තේරුම්ගැනීමට පටන් ගත්තේය.

මේ විරෝධය උත්සන්නවීමත් සමඟ පසුගිය 28වෙනිදා හර්තාලයක් මට්ටමට ජනතාව සංවිධානය විය. ප‍්‍රදේශයේ ජනතාව විසිදහසකට අධික පිරිසක් බණ්ඩාරවෙල නගරය වසා උද්ඝෝෂණ කළෝය. “අපේ දරු පවුල් අනාථයි මහත්තයෝ, අපිට යන්න එන්න තැනක් නෑ. අපි ඒකයි ආවේ” උද්ඝෝෂණයට පැමිණි ජනතාව විලාප තැබූහ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාට මේ ගැටලුව මගහැර යෑමට නොහැකි වූ අතර සාකච්ඡාවක් ලබාදීමට සිදුවිය. “එක එක්කෙනා එවන පෙම් හසුන්වලින් අපිට වැඩක් නෑ. ජනාධිපතිතුමා බණ්ඩාරවෙලට එන්න ඕනෑ. මේ විපත එතුමගේ ඇස්දෙකෙන් බලාගන්න ඕනෑ” සමන්ත විද්‍යාරත්න උද්ඝෝෂකයින් අමතමින් කිවේය.

කෙසේ වෙතත් මේ ජනතාව සමන්ත විද්‍යාරත්න ඇතුළු පූජකතුමන්ලාගේ සහ සිවිල් ක්‍රියාකාරීන් වටා එක් රොක් වීමත් සමඟ එජාප බණ්ඩාරවෙල ආසන සංවිධායක කලබල විය. ඔහු මාධ්‍ය සංදර්ශන පවත්වා මාධ්‍ය අවධානය දිනාගැනීමට උත්සහ ගත්තේය. රේල් පාරේ වාඩිගත්තේය. “රැස්වීම් කරලා හරියන්නේ නැහැ. මේක තමයි කරන්න ඕනෑ” ඔහු රේල් පාරේ වාඩිවෙමින් කීවේය.

ඌව මහ ඇමතිවරයා කුපිත විය. “උඹලා මොකටද සමන්තගේ වැඩේට මිනිස්සුන්ට යන්න දුන්නෙ. අපි දැන් කොහොමද පාරේ බැහැලා යන්නේ. මිනිස්සුන්ට මුහුණ දෙන්නේ” මහ ඇමතිවරයා පාක්ෂිකයින්ට බැණවැදුණ බව සමන්ත විද්‍යාරත්නට දැනගන්නට ලැබිණි.

කෙසේ වුවද මෙම උද්ඝෝෂණය හේතුවෙන් ආණ්ඩුව තුළ කලබලයක් ඇති වී ඇති අතර ඇතැම් නිලධාරීන් සෘජුවම කතා නොකර වෙනත් මාර්ගවලින් සමන්ත විද්‍යාරත්න සම්බන්ධ කර ගැනීමට උත්සහ දරන බවද දැනගන්නට ලැබී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්