ලංකා විදුලි බල මණ්ඩල සේවකයන්ගේ වැටුප් විෂමතා ගැටලුව විසඳීම සඳහා ලබන අගෝස්තු මස 04 වැනිදා දක්වා රජයට කල්දෙන බව ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
එම දිනට පෙර වැටුප් ගැටලුව විසඳීමට රජය කටයුතු නොකරන්නේ නම් ඉන් පසු වෘත්තීය සමිති තීරණය කරන ඕනෑම දිනයක සිට දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි වෘත්තීය සමිති වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කරයි.
ලංවිම වෘත්තීය සමිති සන්ධානය අද (28) කොළඹ විහාර මහා දේවී එළිමහන් රඟහලේදී පැවැත්වූ ජාතික සමුළුවේදී මෙම තීරණයට එළැඹී තිබේ.
ලංවිම වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ අගොස්තු 04 වැනිදාට පෙර වැටුප් ගැටලු විසඳීමට රජය කටයුතු නොකරන්නේ නම් පළමුව සතියක් කලුපටි පැළඳ සේවය කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බවත් එයටද රජය අවධානය යොමු නොකරන්නේ නම් දින දෙකක වැඩවර්ජනයක් කරා යොමුවීමට සිදුවන බවත් ය.
ඉන් පසුවද රජය ඇහුම්කන් නොදෙන්නේ නම් ඉල්ලීම් ලැබෙන තුරු අඛණ්ඩ මහා වැඩවර්ජනයක් කරා යාමට ලංවිම සේවකයන්ට සිදුවන බව රන්ජන් ජයලාල් මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.


























