කටාරය මුහුණ දී සිටින වත්මන් අර්බුදකාරී වාතාවරණය තුළ අසල්වැසි ගල්ෆ් රාජ්‍ය කිහිපයකින් එල්ල වන සම්බාධක හමුවේ විශාල ආහාර හිඟයකට මුහුණ දී සිටින කටාර් රාජ්‍ය වෙත ආහාර තොග සහිත ගුවන් යාන 5ක් යැවීමට ඉරානය කටයුතු කර ඇති බව වාර්තා වේ.
කටාරයේ ආහාර අවශ්‍යතාවයෙන් 70% පමණ සෞදි අරාබිය හරහා ලබා ගනිමින් තිබූ අතර සෞදිය සබඳතා අතහැරීමත් සමග එම ආහාර දේශසීමා හරහා රැඟෙන ඒම අත්හිටුවීම මෙම ආහාර හිඟයට සෘජුව බලපා ඇත. මෙම ගුවන් යානා වලට අමතරව තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත නෞකා තුනක්ද කටාරය වෙත යැවීමට ඉරානය සූදානම් වන බව වාර්තා වේ.
කටාර් අර්බුදය ඉදිරියේදී යුද්ධයක් බවට පෙරළීමේ අවධානමක් මතුව ඇතැයි ජර්මන් විදේශ ඇමති සිග්මාර් ග්රේබ්යෙල් මාධ්‍ය වෙත පවසා ඇති අතර ඔහු පසුගිය දිනවලදී මෙම අර්බුදයට සම්බන්ධ සියලුම රටවල් සමග සාකච්ඡා කොට ඇති බැවින් එම ප්‍රකාශය බැහැර කළ නොහැකි බව මාධ්‍ය වාර්තා කර තිබේ.
ගල්ෆ් කලාපීය රටවල් එකිනෙකා කෙරෙහි දක්වන රළු ස්වභාවයන් විසින් මෙම තත්වය තව දුරටත් උත්සන්න වන බව පවසයි. සෞදි අරාබිය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව යන රටවල් මේ වනවිට කටාරය සමග පැවැත්වූ සියලුම දේශසීමා සබඳතා, ගුවන් ගමන් ඇතුළු තානාපති සබඳතාද අතහැර දමා තිබේ. මේ තත්වය සමග කටාරය දැඩිලෙස පීඩාවට ලක්ව සිටින අතර ත්රස්තවාදීන් සමග කටාරය සබඳතා පවත්වන බවට එල්ල කරන චෝදනා කටාර් පාලනය ප්‍රතික්ෂේප කරයි.










