මෙන්න සමෘද්ධියට බෝඩ් ගැහිල්ලේ තරම

මෙන්න සමෘද්ධියට බෝඩ් ගැහිල්ලේ තරම

1997දී ආරම්භ කරන ලද සමෘද්ධි බැංකු සංගමයේ නම මේ වනවිට අවස්ථා 04කදී වෙනස් කර තිබේ. එම වෙනස් කිරීම් අනුව එම අවස්තා හතරේදීම සමෘද්ධි බැංකු සංගම් 1074කත් සමෘද්ධි මහ සංගම් 332කත් නම සහිත පුවරුව වෙනස් කර තිබේ.

ඒ අනුව 1997 සිට පැවති සමෘද්ධි බැංකු සංගමය යන්න එවකට ආර්ථික සංවර්ධන ඇමතිවරයාව සිටි බැසිල් රාජපක්ෂ මහතා විසින් 2014 වසරේදී එය දිවිනැගුම ප්‍රජාමුල බැංකුව ලෙසත් සමෘද්ධි මහ සංගමය යන්න දිවිනැගුම ප්‍රජාමූල සමිතිය ලෙසත් නම් වෙනස් කරන ලදී.

ඒ අනුව 2014.0103 දින සිට අදාළ නම් වෙනස් කිරීම සඳහා සමෘද්ධි බැංකු සංගම් 1074ට එක් නාමපුවරුවකට රුපියල් තිස්එක්දහස (රු. 31,000) බැගින් රුපියල් තුන්කෝටි තිස්දෙලක්ෂ අනූහතරදහසක (රු. 33,294,000) මුදලක් වැයකර තිබූ අතර සමෘද්ධි මහ සංගම් 332ක නාමපුවරු වෙනස් කිරිම සඳහා එක් නාමපුවරුවකට රුපියල් තිස්එකදහස (රු. 31,000) බැගින් රුපියල් එක්කෝටි දෙලක්ෂ අනූදෙදහසක (රු. 10,292,000) මුදලක් වැය කර තිබිණි. ඒ අනුව එම වසරේ සමෘද්ධියේ නම දිවිනැගුම කිරිම සඳහා රුපියල් හාරකෝටි තිස්පන්ලක්ෂ අසූහයදහසක (රු. 43,586,000) මුදලක් වැය කර තිබිණි.

බැසිල් රාජපක්ෂ මහතාගේ දිවිනැගුමෙන් පසු නැවත බලයට පැමිණි රනිල් – මෛත්‍රී ආණ්ඩුවේ සමෘද්ධිය භාර ඇමතිවරයා ලෙස 1997දී සමෘද්ධියභාර ඇමිතිවරයාව සිටි එස්.බී. දිසානායක මහතා වැඩ භාරගත් අතර ඔහු විසින් දිවිනැගුම ප්‍රජාමුල බැංකුව යන්න සමෘද්ධි ප්‍රජාමුල බැංකුව ලෙසත් සහ දිවිනැගුම ප්‍රජාමූල සමිතිය සමෘද්ධි බැංකු සමිතිය ලෙසත් නම් වෙනස් කරනැවත පුවරු සවි කරන ලදී.

ඒ අනුව 2017.03.26 දින සිට නැවත නාමපුවරු සවි කිරීම සඳහා බැංකු 1074කටත් සංගම් 332කටත් එක් පුවරුවකට රුපියල් විසිදහස බැගින් (රු. 20,000) රුපියල් දෙකෝටි අසූඑක්ලක්ෂ විසිදහසක  (රු. 28,120,000) මුදලක් වැය කර තිබිණි.

එම නාම පුවරුව සවි කර පසුගිය මැයි 29වනදා වනවිට ගත වූයේ මාස දෙකකුත් දින තුනක් පමණි නැවත 2017.05.29 සිට සමෘද්ධි ප්‍රජාමුල බැංකුව යන්න සමෘද්ධි බැංකුව ලෙසත් සමෘද්ධි බැංකු සමිතිය යන්න සමෘද්ධි සමිතය ලෙසත් වෙනස් කර ඇත.

පැවති නාමපුවරුවලම එම නාමය වෙනස් කිරීම සඳහා අදාළ බැංකු සහ සමිති 1406 සඳහා එක් ස්ටිකර්යකට රුපියල් හයදහස (රු. 6000) බැගින් රුපියල් අසූහතරලක්ෂ තිස්හයදහසක් (රු. 8,436,000) වැය කර ඇත.

මෙලෙස 2017.05.29 වනදා සිට සමෘද්ධියේ නම වෙනස් කිරීම සිදු කරණ බව සමාජසවිබල ගැන්වීම හා සුභසාධක අමාත්‍යාංශයේ ලේකම්වරයා,  දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ ප්‍රධාන අභ්‍යන්තර විගණක වරයාට පිටපත් සහිතව සියළුම දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂවරු අමතා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීල් බණ්ඩාර හපුහින්න මහතා විසින් “සෘද්ධි බැංකු සහ සමෘද්ධි බැංකු සමිති නාමපුවරු නවීකරනය කිරිම” යුතුව අංක DDD/HO/MF/05/02/16 යටතේ ලිපියක් යොමු කර තිබේ.

ඒ අනුව මෙතෙක් විටින් විට සමෘද්ධියේ නාම පුවරු වෙනස් කිරීම සඳහා පමණක් රුපියල් අටකෝටි එක්ලක්ෂ හතලිස්දෙදහසක් (රු. 80,142,000) වැය කර ඇත.

ජනතා මුදල් මෙලෙස නාස්තිකාරී ලෙස වියදම් කිරීම සම්බන්ධයෙන් පසුගිය මාර්තු මාසයේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාත්, පසුගිය මැයි 26වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාත් පාර්ලිමේන්තුවේදී විෂයභාර ආමාත්‍ය එස්.බී. දිසානායක මහතාගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටි අතර එහිදී අමාත්‍යවරයා කිසිඳු ජනතාවාදී පිළිතුරුක් ලබානොදුන් අතර ඔහු පැවසූවේ මෙම නම් වෙනස් කිරීමට වැයවන්නේ රුපියල් 2000 පමණක් බවය. කෙසේ නමුත් නාමපුවරුවල අවසන් නම් වෙනස් කිරීම සඳහා පමණක් එක් පුවරුවකට රුපියල් 6000ක් වැය කර තිබේ.

Facebook
Twitter
LinkedIn