මුල් මාස දෙකේ විදේශ ණය දෙගුණ වේ

මුල් මාස දෙකේ විදේශ ණය දෙගුණ වේ

වසරේ මුල් මාස දෙකේ දී විදේශ ණය ලබා ගැනීම් දෙගුණයකින් ඉහළ ගොස් අපනයන ඉහළ ගොස් අපනයන ආදායම තවත් පහත වැටී ඊට ප‍්‍රතිවිරුද්ධව ආනයන වියදම වර්ධනය වී තිබෙන බව අලුත් ම මහ බැංකු නිවේදනයෙන් හෙළි වේ.

ජනවාරි, පෙබරවාරි මාසවලට සම්බන්ධ රටේ විදේශ අංශයේ ක‍්‍රියාකාරීත්ව පිළිබඳ පසුගිය 25 වැනිදා නිකුත් කළ නිවේදනයේ මේ තොරතුරු ඇතුළත් ය. 2016 වසරේ මුල් මාස දෙකේ දී විදේශ ණය ගැනීම් ඩොලර් මිලියන 116.5 (රුපියල් මිලියන 17,941)ක් වී තිබී ඇත. මෙම වසරේ මුල් මාස දෙකේ දී එය ඩොලර් මිලියන 223.6 (රුපියල් මිලියන 34,434)ක් දක්වා දෙගුණයකට ඉතා ආසන්නව වර්ධනය වී ඇත.

අදාළ මාස දෙකේ 2016 වර්ෂයේ අපනයන ආදායම ඩොලර් මිලියන 1,790.2ක් වී ඇති අතර මෙම වර්ෂයේ එය ඩොලර් මිලියන 1,732.5ක් දක්වා පහත වැටී ඇත. ඊට ප‍්‍රතිපක්‍ෂව ආනයන වියදම 2016 මුල් මාස දෙකේ ඩොලර් මිලියන 3,028.4ක සිට මෙම වසරේ එම කාලය තුළ දී ඩොලර් මිලියන 3,409.6ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ නිසා වසරේ ජනවාරි, පෙබරවාරි මාස දෙකේ දී විදේශ වෙළෙඳාමේ පාඩුව ඩොලර් මිලියන 1,677ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Facebook
Twitter
LinkedIn