මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනයෙන් උපාධිය ලබා පිටවන සිසුන් වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනු කළ අභියාචන පෙත්සම සලකා බැලීම මේ මස 22 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (01) තීන්දු කර තිබේ.
මෙම පෙත්සම විභාග කිරීම සඳහා පත් කළ තිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් විජිත් මළල්ගොඩ මහතා ඉවත්වීම නිසා නැවත නව විනිසුරු මඩුල්ලක් පත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට සිදු විය.
ඒ අනුව මෙම පෙත්සම අගවිනිසුරු ප්රියසාත් ඩෙප් , ඊවා වනසුන්දර සහ ප්‍රියන්ත ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ යළි කැඳවා උක්ත තීරණය ගෙන තිබේ.
අභියාචනාධිකරණය නීතිය වැරදි ලෙස වටහා ගනිමින් සහ අර්ථ දක්වමින් මෙම නඩු තීන්දුව ප්‍රකාශ කර ඇති බවට තීන්දු කරෙ, අභියාචනාධිකරණ නඩු තීන්දුව බල රහිත කර අභියාචනාධිකරණය හමුවේ සයිටම් සිසුවිය විසින් ගොනු කළ රිට් පෙත්සමද නිෂ්ප්‍රභ කරන ලෙස වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ සිය අභියාචනයේ සඳහන් කර ඇත.










