මීතොටමුල්ල ඛේදවාචකයේ මරණ සංඛ්‍යාව 23 දක්වා ඉහළට.

මීතොටමුල්ල ඛේදවාචකයේ මරණ සංඛ්‍යාව 23 දක්වා ඉහළට.

මීතොටමුල්ල කුණුකන්ද නායයෑම හේතුවෙන් මියගිය තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ අද (16) උදෑසන මෙම මළ සිරුරු සොයාගත් බවයි.  ඒ අනුව මේ වන විට කුණු කන්ද නායයෑමෙන් මියගිය සංඛ්‍යාව 23ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කුඩා ළමුන් පස් දෙනෙකු සහ කාන්තාවන් නව දෙනෙකු ද ඒ අතර වෙයි.

තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඉන් එක් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළේය. නායයෑමෙන් අතුරුදන්වූවන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

මේ අතර කුණු කන්ද කඩා වැටීම හේතුවෙන් විපතට පත් වූ පවුල් 180කට පමණ අයත් පුද්ගලයන් 625 දෙනෙකු පමණ සුබ සාධන මධ්‍යස්ථානවලට යොමුකර තිබේ.

Facebook
Twitter
LinkedIn