බලශක්ති අයිතිය ළඟදීම ඉන්දියාවට!

බලශක්ති අයිතිය ළඟදීම ඉන්දියාවට!

විදුලිය, ඛනිජ තෙල් සහ ගෑස් යන මෙරට ප‍්‍රධානම බලශක්ති ප‍්‍රභව තුනම ඉන්දියාවට නතු කර දෙමින් ඉතා නුදුරේ දීම ගිවිසුමක් අත්සන් කිරීමට ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අනු කමිටුවේ අනුමැතිය මත මේ වනවිට රහසිගතව කෙටුම්පත්ක් සකස් කර තිබෙන බව අනාවරණය වේ. මාර්ග ඉදිකිරීම ඇතුළු ආර්ථික ක්ෂේත්‍ර රැසක්ද ආවරණය වන පරිදි මෙම කෙටුම්පත සකසා ඇති බවද අනාවරණය වේ.

හම්බන්තොට වරාය සහ ආශ්‍රිත කලාපය චීනයට පවරා දීම පිළිබඳ දැඩි සංවාදයක් පවතින අතර, රහසිගතව මෙම ගිවිසුම පවා කෙටුම්පත් කර තිබීමත් එයට ජනාධිපති විසින් පත්කර තිබෙන ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අනු කමිටුව අනුමැතිය ලබා දී තිබීමත් විශේෂිත ය. මෙම කැබිනට් අනු කමිටුව රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා යටතේ සරත් අමුණුගම, දුමින්ද දිසානායක ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන්ගෙන්ද සමන්විත ය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දීය අයි.ඕ.සී. සමාගම ඒකාබද්ධ කිරීම, ත්‍රීකුණාමලය තෙල් ටැංකි සියල්ලම වසර පනහකට අයි.ඕ.සී. සමාගමට බදු දීම, ඉන්දියාව සහ ලංකාව අතර ගෑස් නළ පද්ධතියක් ඉදි කිරීම, තෙල් ටැංකි ආශ්‍රිතව මෙගවොට් 500ක විදුලි බලාගාරයක් ඉදිකිරීම, සාම්පූර් හි මෙගවොට් 50-100 දක්වා සූර්ය කෝෂ විදුලි බලාගාරයක් ඉදිකිරීම යන කටයුතු බලශක්ති ක්ෂේත‍්‍රයේ සිදු කිරීමට නියමිතය. මෙය නියාමනය කිරීම සඳහා දෙරට අතර ‘බලශක්ති සැපයුම් කමිටුව’ නමින් කමිටුවක් පිහිටු වීමට පසුගිය 04 වැනිදා දෙරට රාජ්‍ය තාන්ත්‍රිකයන් එකඟ වී ඇත. මෙයට අමතරව ආයෝජන සංවර්ධන සහයෝගීතාවය තුළින් ඉහළ ආර්ථික සංවර්ධනයක් ඉන්දියාව සහ ලංකාව අතර ඇති කර ගැනීමේ ක්ෂේත්‍ර රැසක් ආවරණය කරන කරුණුද ගිවිසුමට අයත් බව හෙළි වේ. හඳුනාගත් ප‍්‍රදේශවල විශේෂිත ආර්ථික හා කර්මාන්ත කලාප ඇති කිරීම ද මේ යටතේ සිදු කිරීමට නියමිත ය.

දඹුල්ල – ත්‍රීකුණාමලය, මන්නාරම – ත්‍රීකුණාමලය සහ මන්නාරම – යාපනය යන අධිවේගී මාර්ග තුන ඉදිකිරීම සහ ප‍්‍රධාන මාර්ග ව්‍යාපෘති කිහිපයක් ඇතුලු ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ මාර්ග ව්‍යාපෘතිද මෙයට අන්තර්ගත වේ. කොළඹ වරාය ප‍්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ඉහළම ධාරිතාවයකට ගෙනඒම සම්බන්ධ කරුණුද ඇතුළත් කෙරේ.

ගිවිසුම අත්සන් කළ පසු යම් පාර්ශ්වයකට වගන්ති සංශෝධනයක් කර ගත යුතු නම් මාස තුනකට පෙර දැනුම් දී අදාළ වගන්ති සංශෝධනය කළ හැකි යැයි කොන්දේසියක් විශේෂයෙන් ඇතුළත් කිරීමට නියමිත ය.

ඉන්දියාව සහ ලංකාව අතර අත්සන් කිරීමට නියමිත වූ ‘එට්කා’ ගිවිසුමට බරපතළ විරෝධයක් එල්ල වීමෙන් පසුව එය වෙනත් මුහුණුවරකින් ගෙන එන බව මෙයින් පැහැදිලිවී තිබේ. දැනට හෙළි වන තොරතුරු අනුව අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ගිවිසුම අත්සන් කිරීමට සූදානම් වන බව පැහැදිලි ය.

මූලාශ්‍ර ලංකා ඉරිදා සංග්‍රහය

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්