මහාධිකරණ විනිසුරු රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරු ධූරයෙන් ඉවත් කරන ලෙස අධිකරණ සේවා සංගමය යළිත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
අධිකරණ සේවා සංගමයේ ලේකම්, ගල්කිස්ස මහේස්ත්‍රාත් එම්.එම්.එම් මිහාල් මහතාගේ අත්සනින් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකරන ලද ලිපියකින් එම ඉල්ලීම කර ඇත.
එම ලිපියේ මෙසේ දැක්වෙයි.
“2017.04.01 දින කොළඹ දිසා අධිකරණයේ දී පවත්වන ලද අධිකරණ සේවා සංගමයේ හදිසි මහා සභා රැස්වීමේ දී ඒකමතිකව සම්මත කර ගත් තීරණයන් ප්‍රකාරව ඔබතුමා වෙත ලියමි.
අධිකරණ සේවා සංගමය, ශ්‍රි ලංකාවේ සියලුම පහළ අධිකරණ විනිශ්චයකාරවරුන් (දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්) සමාජිකත්වය දරණ එකම සහ අනන්‍ය සංගමය වේ. අප සංගමයේ සියලුම සාමාජිකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන ලෙස සහ වැරදි කරුණු ඔබතුමන් වෙත ඉදිරිපත් කර, කරනු ලැබූ මහාධිකරණ විනිසුරු රාමනාදන් කන්නන් මහතාගේ පත්වීම සම්බන්ධයෙන් මින් පෙර අවස්ථා කිහිපයකදීම ඔබතුමා හමු වී සහ ඔබතුමාට ලිඛිතව අප විසින් කරුණු ඉදිරිපත් කර ඇත.
2017.02.22 දින ඔබතුමා හමු වූ අවස්ථාවේ දී ඉහත පත්වීම සිදුකිරීමේදී ඔබතුමා වෙත වැරැදි කරුණු ඉදිරිපත් වීම හේතු කොට ගෙන සිදු කරනු ලැබූ පත්වීමක් බැවින්, එම පත්කිරීම සිදු කිරීම සම්බන්ධයෙන් ඔබතුමා ඉතා කනගාටුවට පත්වී ඇති බව අපි හොඳින්ම දුටුවෙමු. ඒ අනුව ඔබතුමාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්තුමා විසින් 2017.02.23 දින අධිකරණ සේවා කොමිෂන් සභාවට යවන ලද ලිපිය ප්‍රකාර 2017.02.23 දින අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පහත තීරණයට එළඹී බව එදිනම එනම්, 2017.02.23 දිනයේදීම අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්තුමා විසින් ඔබතුමාගේ ලේකම්තුමා වෙත දන්වා ඇත.
ඒ අනුව එම තීරණය නම්,
“ජනාධිපති ලේකම්තුමාගේ 2017.02.23 දින ලිපියේ දන්වා ඇති පරිදි ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ විධිමත් නිර්දේශයක් නොමැති නම් රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කිරීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 111 (2) (අ) ව්‍යවස්ථාව යටතේ ලබා දී ඇති නිර්දේශය නීතිය හමුවේ බලසහිත සහ වලංගු නිර්දේශයක් නොවේ.”
(එම ලිපියේ පිටපතක් X – 1 ලෙස ලකුණු කර ඉදිරිපත් කර සිටිමි.)
එසේම ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද ඔබතුමා වෙත 2017.02.27 දිනැති ලිපිය මඟින් ඉතා පැහැදිලිවම දන්වා ඇත්තේ, විනිසුරු රාමනාදන් කන්නන් මහතා පත් කිරීම සඳහා ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ කිසිඳු නිර්දේශයක් ලබා දී නොමැති බව යි.
(එම ලිපියේ පිටපතක් X – 2 ලෙස ලකුණු කර ඉදිරිපත් කර සිටිමි.)
ඒ අනුව 2017.02.23 දින අධිකරණ සේවා කොමිෂන් සභාවේ තීරණය අනුව, රාමනාදන් කන්නන් මහතාගේ පත්වීම මුල සිටම බලරහිත පත්වීමක් බවට පත්වන්නේ ය.
එසේ හෙයින්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව නිසි ලෙස පත් නොවූ පුද්ගලයෙකු මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස තවදුරටත් සේවය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමකි. එනයින්ම, එය සමස්ථ ශ්‍රී ලංකා වාසීන්ගේ පරමාධිපත්‍ය බලය උල්ලංඝණය කිරීමකි. ඒ අනුව මෙම පත්වීම නිවැරදි කිරීම ඉතාම අත්‍යාවශ්‍ය බව අධිකරණ සේවා සංගමයේ ඒකමතික අදහස වේ.
ඒ අනුව 2017.04.01 දින කොළඹ දිසා අධිකරණයේ දී පවත්වන ලද අධිකරණ සේවා සංගමයේ හදිසි මහා සභා රැස්වීමේ දී මෙම ලිපිය සමඟ අමුණා ඉදිරිපත් කරනු ලබන යෝජනා ඒකමතිකව සම්මත වූ බව ඔබතුමා වෙත ගෞරවයෙන් දැනුම් දී සිටිමි.
(එම යෝජනා X – 3 ලෙස ලකුණු කර ඉදිරිපත් කර සිටිමි.)
ඒ අනුව සමස්ත පහල අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ ඒකමතික ඉල්ලීම වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි, මුල සිටම බල රහිත තත්ත්වයකට පත් වී ඇති රාමනාදන් කන්නන් මහතාගේ පත්වීම නීතිය හමුවේ මුල සිටම බල රහිත සහ අවලංගු පත් වීමක් ලෙස සළකා රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරු ධූරයෙන් ඉවත් කරන ලෙසටයි.
මේ සම්බන්ධයෙන් අප සංගමයේ සාමාජිකයන් සමඟ වැඩිදුරටත් සාකච්ඡා කිරීම සුදුසු යැයි ඔබතුමා කල්පනා කරන්නේ නම්, ඒ සඳහා අප හට ඔබතුමා හමු වීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ද ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
එම්.එම්.එම්. මිහාල්,
ලේකම්,
අධිකරණ සේවා සංගමය,
මහේස්ත්‍රාත් – ගල්කිස්ස.
අධිකරණ සේවා සංගමයේ සමස්ත සාමාජික විනිසුරුවරුන් වෙනුවෙන්.”









