රජය විසින් නියම කර ඇති පාලන මිල ගණන්වලට ආනයනික සහල් අලෙවි කළ නොහැකි බවත් සහල් කිලෝවක මිල 10-15%ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට සිදුවන බවත් සහල් ආනයනකරුවන්ගේ සහ අලෙවිකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.
ආනයනික කැකුළු සහල් කිලෝවක් රුපියල් 70ක්ද, නාඩු කිලෝවක් රුපියල් 72ක්ද, සම්බා කිලෝවක් රුපියල් 80ක්ද වශයෙන් උපරිම සිල්ලර මිල නියම කර ඇතත් විදේශ සහල් වෙළෙඳපොළේ සහල් මිල සියයට 10-15%ත් අතර මිලකින් ඉහළ යෑමත් ඩොලරයේ අගය ඉහළ යෑම මත වැඩි මිලක් ගෙවීමට සිදුවීමත් නිසා නියමිත පාලන මිල ගණන්වලට සහල් අලෙවි කළ නොහැකි බව එම සංගමය සඳහන් කරයි.
පසුගිය මාසයක කාල සීමාවේදී සහල් මෙට්‍රික් ටොන් 2,60,000ක් ආනයනය කළ අතර ඉන් මෙට්‍රික් ටොන් 2,10,000ක් මේ වනවිට අලෙවි වී අවසන් බවත් එළැඹෙන උත්සව සමය වෙනුවෙන් තවත් සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනය කිරීමට කටයුතු යොදා ඇති බවත් එම සහල් තොග රජයේ නියමිත පාලන මිල ගණන්වලට අලෙවි කළ නොහැකි බවත් ඔවුන් සඳහන් කරයි.
විවෘත වෙළෙඳපොළ හිඟයක් නොමැතිව සහල් අලෙවි කළද සහල් කිලෝවක සිල්ලර මිල සියයට 10-15%ත් අතර මිලකින් ඉහළ යා හැකි බවත් ඒ පිළිබඳ රජය සමඟ සාකච්ඡා කිරීමට සංගමය කටයුතු යොදා ඇතැයිද ඔවුන් වැඩිදුරටත් පවසයි.
කෙසේ නමුත් කුඩා හා මධ්‍යපරිමාණ මෝල් හිමියන් පවසන්නේ රටට අවශ්‍ය තරම් සහල් රට තුළ ඇති බවත් මහාපරිමාණ මෝල් හිමියන් ඉතා කූඨ ලෙස එම සහල් තොග සඟවා ගෙන සිටින බවත් ය.










