ඡන්ද ගේන්නෙ අපිට වාසිවෙලාවේ – කෙහෙළිය

මැතිවරණ පැවැත්වීම දේශපාලන තීන්දු මත සිදුවන බවත් ඡන්ද කල් දැමීමක්‌ සිදුනොකර බලයේ සිටින පක්‍ෂයට වාසි යෑයි හැඟෙන ඕනෑම විට ඡන්ද පැවැත්වීම කළ යුතු බවත් එය ව්‍යවස්‌ථා විරෝධී හෝ ප්‍රජාතන්ත්‍ර විරෝධී නොවන බවත් ඊයේ (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

පළාත් සභා මැතිවරණයට ගියේ ආණ්‌ඩුවට ඉතා වාසිදායක අවස්‌ථාවක බවත් නියමිත කාලයට පෙර පළාත් සභා විසුරුවා හැරීම හා කඩින් කඩ පළාත් සභා මැතිවරණ පැවැත්වීම ව්‍යවස්‌ථාවට අනුකූලව බවත් එමනිසා ඕනෑම විටක ආණ්‌ඩුවට වාසිදායක අවස්‌ථාවලදී මැතිවරණ පැවැත්වීම අතීතයේදීත් සිදුව ඇති බවත් ඇමැතිවරයා කීය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසූවේ “මේ ප්‍රකාශයෙන් ඉතා පැහැදිලි වෙන්නේ ආණ්ඩුවේ තියෙන තක්කඩි ස්වභාවය. විශේෂයෙන්ම මැතිවරණ තියන්න ඕන රටේ ජනතාවට තමන්ගේ නියෝජනය තෝරාපත්කරගන්න. එහි වාසිදායක අවස්ථාව වෙන්න ඕන ආණ්ඩුවට වාසිදායක අවස්ථාව නෙවෙයි ජනතාවට වාසිදාක අවස්ථාව. මැතිවරණ ජනතාවට අවශ්‍යනම් අවශ්‍ය වෙලාවේ තියන්න ඕන. ආණ්ඩුව හිතාගෙන ඉන්නව නම් ජනතාව වෙනුවෙන් තමන් පත්වෙලා ඉන්නව නෙමෙයි තමන් වෙනුවෙන් ජනතාව ඉන්නව කියල ඒක භයානකයි.

මේක ඉතාම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක්. මුළුමහත් ජනතාවම හෙළාදැකිය යුතු කාරණයක් මේක. ඉතාම පැහැදිලිව මේ ප්‍රකාශය විසින්ම ගම්‍යවෙනව මේ පවත්වන්න යන මැතිවරණය නැවත වතාවක් පහුගිය පළාත් සභා මැතිවරණය වගේම සාධාරණ වෙන්නෙ නෑ. ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නෙ නෑ. මේ විදිහට දේශපාලන බලය, මැර බලය, මුල්‍ය බලය, මාධ්‍ය බලය ඉතාම සාහසික ලෙස පාවිච්චි කරන්න ආණ්ඩුවේ තියෙන සූදානම මේ ප්‍රකාශයෙන් හෙළිදරවු වෙනව. ආණ්ඩුව කියනවනම් ආණ්ඩුවට වාසිදායක වෙලාවය කියල මොකද්ද ඒ වාසිදායක ව‍ටපිටාව. ආණ්ඩුවට රාජ්‍ය බලය තිබෙනව. ආණ්ඩුවට මැර බලය තියෙයි. ආණ්ඩුව නීතිය තමන්ගේ අතට අරගෙන ඉඳියි. ඉතින් මේ කියන කාරණා පාවිච්චි වෙනකොට නැවත සැබෑ මහජන මතයක් විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ නම්, නැගෙනහිර පළාතේ ජනතාව මුහුණ දෙන පීඩණය, යුද්ධෙ අවසාන වෙලත් ඒ ජනතාවගේ ප්‍රශ්න විසඳිලා නැති කම. ඔවුන්ගෙ සැබෑ මහජන නියෝජිත බලය නියෝජනය වෙන්නේ නැහැ. දැන් මේ ආණ්ඩුව නොකියම තමන්ගේ ඇමති ඥාති පුතුන් ටික මේ තැන්වල ධූරයන්ට පත්කර ගත්තත් මේ ප්‍රකාශයේත් ඇති වෙනසක් නෑ. මේකෙන් ඉතාම පැහැදිලියි මේ ඡන්දෙ තියන්නෙ නාමිකව විතරයි කියන එක.”

Facebook
Twitter
LinkedIn