උසස්පෙළ සිසුන්ට සරසවියත් එපාකරවන ලකුණු

උසස්‌ පෙළ විභාගයට නව හා පැරැණි වශයෙන් විෂය නිර්දේශ දෙකක්‌ යටතේ පෙනී සිටි සිසුන්ගේ “Z” ලකුණු වෙන වෙනම ගණනය කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීම නිසා සිසුන් විශ්වවිද්‍යාලයන්ට ඇතුළත් කිරීම සඳහා වෙනම ක්‍රමවේදයක්‌ තීරණය කිරීමට සිදු වනු ඇතැයි විද්වත්හු ප්‍රකාශ කරති.

විභාග දෙකට පෙනී සිටි සිසුන් වෙන වෙනම විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන්නේ ද නැතහොත් වෙනත් ක්‍රමයක්‌ අනුගමනය කරන්නේ ද යන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට තීරණය කිරීමට සිදුවන බව ද ඔවුහු පවසති.

විභාග දෙක එක්‌ විභාගයක්‌ ලෙස සලකා කලින් නිකුත් කළ “Z” ලකුණු අනුව ඉහළ “Z” අගයක්‌ ලබා ඇති සිසුන්ට පහළ ඉසඩ් අගයන් ලැබීමටත්, පහළ ඉසඩ් අගයන් ලැබූ සිසුන්ට ඉහළ අගයන් ලැබීමත් අනිවාර්යයෙන් සිදුවන බවද එම විද්වත්හු කියා සිටිති. කලින් නිකුත් කළ “Z” අගයන් අනුව විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබීම සඳහා අවම ඉඩකඩ තිබූ සිසුන් පිරිසකට එම අවස්‌ථාව අහිමි විය හැකි යෑයි ද විශ්වවිද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවීමට නොහැකි වූ සිසුන් පිරිසකට එ සඳහා ඉඩකඩ හිමිවිය හැකි යෑයි ද ඔවුහු පෙන්වා දෙති.

නඩු තීන්දුව තවමත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලැබී නොමැති බව එහි සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක පවසමින් සිටින බවද වාර්තාවේ.

Facebook
Twitter
LinkedIn