ලේක්හවුස් සේවකයෝ වැඩ වරති

Image result for lake house sri lankaතම වෘත්තීය අයිතීන් ලබා නොදී අයිතීන් වෙනුවෙන් හඬ නගන සේවක දඩයමට එරෙහිව මේ වනවිට ලේක්හවුස් සේවකයෝ වැඩ වර්ජනයක් ආරම්භකර ඇති අතර ආයතනය ඉදිරියේ විරෝධතා ව්‍යාපාරයකද නියැලී සිටිති.

සාමුහික ගිවිසුමක් මගින් රුපියල් 2500/-ක වැටුප් වැඩි වීමක් ඉල්ලා සිටි ස්වාධීන ලේක්හවුස් සේවක සංගමයේ නායකයින් ඇතුළු ක‍්‍රියාකාරිකයින් රැසකට දඬුවම් ලබාදීම, පලිගැනීම හා සේවක හඬට කන් නොදීම නිසා මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයට එළඹි බව වෘත්තීය සමිති නායකයෙකු පැවසීය.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙවන් කාරණයකි…

රාජපක්ෂ පාලන සමයේ හිටපු සභාපති බන්ධුල පද්මකුමාර යටතේ වංචා හා දුෂණවලට ගොදුරුව විනාශයේ අභිමුවට ගෙනවිත් තිබු ලේක්හවුස් ආයතනය වත්මන් යහපාලන ආණ්ඩුව යටතේද අඛණ්ඩව පරිහානියට පත්වෙමින් පවතී. ඒ අනුව ආයතනයත් තම රැකියාවත් බේරාගැනීමට සහ සාධාරණ වැටුප් වැඩිවීමක් ඉල්ලා ලේක්හවුස් ස්වාධීන සේවක සංගමය අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

සමාගමේ පාලකයින්ගෙන් විශාල වැටුප් වැඩිවීම් අල්ලස් ලෙස ලබාගත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති නායකයින් අරගලය පාවා දුන්නද එම වෘත්තීය සමිතිවල සාමාජිකයෝ ලේක්හවුස් ස්වාධීන සේවක සංගමය සමඟ අරගලයට එක්විය.

දුර්වල පාලනය, වංචා, දුෂණ සහ සුදුසු පුද්ගලයින් කතෘවරුන් ලෙස පත් නොකිරීම නිසා ලේක්හවුස් ආයතනය අඛණ්ඩව පරිහානියට පත්වේ. ලේක්හවුස් ප‍්‍රකාශන අළෙවිය දිනෙන් දින පහළ වැටෙන අතර එය ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යට බරපතල අනතුරකි. පෞද්ගලික විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සියල්ලම පාහේ තවමත් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් හා ආණ්ඩුවට එරෙහිව මාධ්‍ය භාවිතයේ යෙදෙන තත්ත්වයක් තුළ ලේක්හවුස් ඇතුළු රාජ්‍ය මාධ්‍යවලට විශාල වගකීමක් පැවරේ. නිර්මාණශිලිව තම පුවත්පත්වල අළෙවිය වර්ධනය කර ගනිමින් මෙම මාධ්‍ය ක්ෂේත‍්‍රයේ අසමතුලිත බව සමබර කිරීමට සමත් පාලනාධිකාරියක් හෝ කතෘවරුන් පත් කිරීමට වත්මන් ආණ්ඩුවට තවම හැකිවී නැත.

නව ආණ්ඩුව යටතේ ආයතනයේ සභාපතිධුරයට නලින් ලද්දුවහෙට්ටි මහතා පත්කරන ලෙස ලේක්හවුස් වෘත්තීය සමිති සහ සේවකයෝ ඉල්ලා සිටියහ. ලද්දුවහෙට්ටි මහතා ලේක්හවුස් මෑත ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් ඇතිකළ සභාපතිවරයෙකු ලෙස ගෞරවයට ලක්වේ. එහෙත් නව ආණ්ඩුව සභාපති ලෙස තෝරා ගත්තේ සාගල රත්නායක ඇමතිවරයාගේ සොයුරු එවන් රත්නායකයි. ඔහු දක්ෂ කළමනාකරුවෙකු ලෙස පෞද්ගලික අංශයේ නමක් දිනා සිටියත් ලේක්හවුස් වැනි දේශපාලනය නිසා කුණු වූ දුෂණ වංචා හා නිලධාරි වාදය නිසා විනාශ වූ ආයතනයක් ගොඩ ගැනීමට ඔහුට හැකියාවක් නැති අතර ආයතනයක් සහ ආයතනයේ පුවත්පත් අඛණ්ඩව පරිහානියට ලක්වේ.

එවන් රත්නායක නව සභාපතිවරයාට ද අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ “රෝයල්” රෝගය වැළඳී ඇත. ඔහු අභය අමරදාස වැනි ආයතනය විනාශ කළ දුෂිත”ආදී රෝයල්” කල්ලියක් සමඟ එක්ව සියලු පාලන තීරණ ගනී. මුල්‍ය අධ්‍යක්ෂ තනතුරට තම හිතවතෙකු පත්කරගෙන ඇතත් ඔහු මුල්‍ය පාලනය පිළිබඳ සුදුසුකමක් නැති ඉංග‍්‍රීසි කතා කිරීම සුදුසුකමක් කරගත් ඉංජිනේරුවෙකි. අධ්‍යක්ෂ මණ්ඩලයට මාධ්‍ය ඇමති විසින් පත්කළ අධ්‍යක්ෂ (නීති) ඇතුළු අය ඉදිරිපත් කරන කිසිදු මතයක් පිළිනොගෙන  ඔවුන් කොන්කර දමා ඇත.

යහපාලන ආණ්ඩුව යටතේ වෙනසක් බලාපොරොත්තු වූ රාජපක්ෂ භීෂණයේ පීඩාවට පත් ජනකොටස් අතරින් ලේක්හවුස් සේවකයෝ ඉදිරියෙන්ම සිටිති. ඔවුන් මැතිවරණ දෙකේදීම යහපාලනය වෙනුවෙන් කැපවුහ. එහෙත් දැන් ඔවුන් සියලු දෙනා යහපාල ආණ්ඩුවට සාපකරමින් සිටිති.

වත්මන් ලේක්හවුස් පාලනයද සාමුහික ගිවිසුම්වලට එකඟවීම හෝ වැටුප් වැඩි කිරීම ප‍්‍රතික්ෂේප කරති. වෘත්තීය අරගල කලොත් එලියට දමන බවට සේවකයන්ට තර්ජනය කරති. ඒ වෙනුවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ හා එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති නායකයින්ට අල්ලස් ලබාදෙති. 

සේවක වැටුප් වැඩි නොකරත් ලක්ෂ ගණන් ඉහළ වැටුප්වලට නව තනතුරු සඳහා පුද්ගලයින් බඳවා ගනිති. ලොක්කන්ගේ වැටුප ලක්ෂ ගණනින් වැඩි කරති. එහෙත් පුවත්පත් අළෙවිය දිනෙන් දින පහළ බසින අතර ආයතනය අර්බුධයට යයි.

Facebook
Twitter
LinkedIn