මහින්ද රාජපක්ෂ පාලන සමයේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පූර්ණ අනුග්රහයෙන් අග්රාමාත්ය කාර්යාලය සතු වාහනයක් ලබා එම රථය නීතිවිරෝධී ලෙස යොදාගනිමින් අවභාවිතය කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දෙමළ සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රි පී.එච්. පියසේන සම්බන්ධයෙන් කරනු ලැබූ විමර්ශන වාර්තාවල උද්ධෘත නීතිපතිවරයා වෙත යවා උපදෙස් ලබා ගන්නා ලෙස කොටුව මහෙස්ත්රාත් ලංකා ජයරත්න මෙනෙවිය කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයට නියෝග කර ඇත.
සැකකාර මන්ත්රිවරයා අග්රාමාත්ය කාර්යාලයෙන් ලබාදී තිබූ වාහනයක් මන්ත්රි ධුරය අහෝසි වීමෙන් පසු ආපසු ලබාදෙන ලෙස දන්වා ඇති අතර එය ආපසු ලබා නොදී එම වාහනය අවභාවිතය කළ බවට අග්රාමාත්ය කාර්යාලයෙන් ලැබුණු පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගෙන තිබිණි.
පසුගියදා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශය කරුණු දක්වමින් සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන අවසන් කර ඇති අතර අග්රාමාත්ය කාර්යාලය සතු වාහනය බැඳුම්කරයක් මත එම කාර්යාලය වෙත ලබාදුන් බව දන්වා සිටිනු ලැබීය.
එම අවස්ථාවේ සැකකරු සම්බන්ධයෙන් ඇප ඉල්ලා ඉදිරිපත් කරන ලද ඇප අයැදුම්පත සම්බන්ධයෙන් කරුණු දැක්වූ මහෙස්ත්රාත්වරිය සැකකරුට ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණක් ඉදිරිපත් කර නොමැති බව පවසමින් ඇප ලබාදීම ප්රතික්ෂේප කර තිබේ.
මෙම නඩුව නැවත ලබන 23දා කැඳවීමට නියමිත ය.









