අද (12) ශ්‍රී ලංකාවට පැමිණෙන ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි එක්දින තරගමාලාවට සහ විස්සයි20 තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධනට අහිමිවී ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සංචාරය ඉලක්ක කරමින් පසුගියදා පැවැති පුහුණුවිම් අතරතුර ඇය පාදයේ ආබාධයකට ලක්වූ අතර ඒ වනවිට ශ්‍රී ලංකා පිලේ නායිකාව ලෙස කටයුතු කිරීමට සූදානමින් සිට ඇත.
මේ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා විසින්ද තහවුරු කරමින් පවසන්නේ ඇය වෙනුවට කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බාරදෙන ක්‍රීඩිකාව සම්බන්ධ කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව තවම තීරණයක් ගෙන නොමැති බව ය.
කෙසේවුවත් හිටපු නායිකා චමරී අතපත්තු නායකත්වයට පත්වනු ඇතැයි ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
මේ අතර ශෂිකලා සිරිවර්ධන ආබාධයට ලක්වීමට පෙර ක්‍රීඩිකාවන් 15 දෙනාගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතිය හිමිවූ තිබූ බවත් නායිකාව ආබාධයකට ලක්වීමෙන් පසුව නැවත අවසන් කණ්ඩායම නම්කොට ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියට යවා ඇති බවත් වාර්තා වේ.
එක්දින තරග 4කින් සහ විස්සයි20 තරගයකින් සමන්විත මේ තරගමාලාවට නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩිකාවන් දෙදෙනකු ඇතුළත් වී ඇතැයිද පළපුරුදු ජ්‍යෙෂ්ඨ තුන්ඉරියව් ක්‍රීඩිකාවකට සිය ස්ථානය අහිමිවී ඇතැයිද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙපිල අතර පළමු එක්දින තරගය ලබන 18 වැනිදාත් දෙවැනි එක්දින තරගය 20 වැනිදාත් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.
ලබන 23 හා 25 දෙදින තුන්වැනි හා සිවුවැනි එක්දින තරග ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර විස්සයි20 තරගය 27දා එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය.









