ලේ ගිලින්න බලාගෙන ඉන්න කූඩැල්ලන් මෙන්, සිංහල ජාතිවාදය වපුරන්නත් දෙමළ ජාතිවාදය වපුරන්නත් මාන බලමින් ඉන්න ජාතිවාදයෙන් තොර ජීවිතයක් නැති පිරිසක් යාපනය විශ්වවිද්‍යාලයේ සිදු වීම දෙස බලා සිටින බවත් ජාතිවාදය පරාජය කර ජාතික සමගිය ගොඩනැගීම සඳහා සමාජ වාදී තරුණ සංගමය දැවැන්ත පවුරක් ලෙස එකට එකතු වී තාමත් හොඳින් මැදිහත් වන බවත් එහි ජාතික සංවිධාක එරංග ගුණසේකර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූවේ සමාජවාදී තරුණ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරු, කලාකරුවන්, මහා ශිෂ්‍ය සංගම් හා සිවිල් සංවිධානවල ක්‍රියාකාරී එකතුවෙන් අද (18) මරදාන සී.එස්.ආර් හි දී යාපන විශ්වවිද්‍යාලයේ දී ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.
එහි දී එරංග ගුණසේකර මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්…
“සමාජවාදී තරුණ සංගමය යාපනයේ විශ්වවිද්‍යාලයේ ඇති වූ සිදුවීම දැඩිව හෙලා දකිනවා. ඒ වගේම මේ ප්‍රහාරය ඇතුළේ ජාතිවාදි ප්රවේශයකින් මැදිහත් වී ඇති බව පිළිගන්නවා. හැබැයි ඔබ අපි කව්රුත් දන්න දෙයක් තියනවා. සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම දැඩි ලෙස කම්පනයට පත්වෙලා තියනවා. දැඩි ලෙස බියකට පත්කරලා තියනවා. මොකද අවුරුදු 30ක යුද්ධයත් යුද්දය අවසන් වෙලා අවුරුදු 7ක් අවසන් වෙලා තියෙන වෙලාවක අපි කවුරුත් ජාතික සමගිය වෙනුවෙන් යම් මතයක් ගොඩනගමින් සිටින මොහොතක තමයි මේ සිදුවීම වෙන්නේ. ඒක නිසා අපි කවුරුත් මේක අනුමත කරන්නෙ නැහැ.
අපි විතරක් නෙවෙයි විශේෂයෙන් උතුරේ සංවිධාන සහ විද්වත්තු මේක අනුමත කරන්නේ නැහැ. යාපනයේ මහා ශිෂ්‍ය සංගමය නිල නිවේදනයක් නිකුත් කරලා තිබුණා. එකේ සියල්ල අපි අනුමත කරන්නේ නැහැ. හැබැයි ඔවුන්ගේ පැත්තෙන් අදහස් දක්වලා තිබුණා සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම එකට ඉගෙන ගන්න එක විශ්වවිද්‍යාලයක් තමයි යාපනය විශ්වවිද්‍යාලය. ඒ නිසා විශ්වවිද්‍යාලයේ අපිට රැදෙන්න ඕන. අපට ඉගෙන ගන්න ඕන. ඒක නිසා මේ විශ්වවිද්‍යාලයේ අපි අතර සමගිය අත්‍යවශ්‍ය කරුණක් බවට පත්වෙන්න ඕන කියලා. ඒ ප්රකාශනය සම්බන්ධයෙන් අපි සුභවාදිව දකිනවා. ඒ විතරක් නෙවෙයි. ඔබට බලාගන්න පුළුවන්, මේ තියෙන්නේ යාපනය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ ෆේස්බුක් පේජ් එකේ පලකර තිබූ පෝස්ට් එක. මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ. සිංහල, දෙමළ, මුස්ලිම් කුමන ජාතිවාදයකටවත් ඔවුන් එකඟ නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි. යාපනයේ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය සාමිනාදන් විමල් මහතා බීබීසි එකට නිවේදනයක් නිකුත් කරලා තියනවා. ඔහු කියලා තියනවා යාපනයේ සිසු ගැටුම ජාතිවාදය සඳහා නොගත යුතුයි කියලා. ඒ නිසා අපි දකිනවා මේ ප්‍රවේශය ඔවුන් සුභවාදී ලෙස කල්පනා කරමින් ඉන්නවා.
ඒ වගේම සමාජවාදී තරුණ සංගමය විදිහට මාසකයට වැඩි කාලයක් සිට එළඹෙන 23 වැනිදා සහෝදරත්වය දිනය වෙනුවෙන් සාහිත්‍ය උළෙලක් සූදානම් කරමින් සිටිනවා. එකේදී චිත්‍ර, කවි, නර්තන නිර්මාණ තරගාවලියක් සූදානම් කළා. දැනට යාපනයේ විශ්වවිද්‍යාල සිසුන්, පාසල් සිසුන් ජාතික සමගිය තේමාව යටතේ චිත්‍ර, කවි, නිර්මාණ විශාල ප්‍රමාණයක් එවලා තියනවා. අපි විශ්වාස කරනවා මේ ගැටුම ඇතුළේ යම් කණ්ඩායම් ජාතිවාදි ප්‍රවේශයෙන් මැදිහත් වුණාට සමස්ත දෙමළ ප්‍රජාව, සමස්ත දෙමළ තරුණ තරුණියන් මේක නියෝජනය කරන්නේ නැහැ කියලා. ඒ නිසා ඔවුන්ට ඒ ප්‍රබල කම්පනය තිබෙන බව අපි දන්නවා. ඒක අපි ගන්න ඕන. ඒවගේම දකුණ පැත්තෙන් ගත්තොත් අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලය, ආචාර්යවරු, මහචාර්යවරු, කලාකරුවෝ ඒවගේම ආගමික නායකයෝ සියලු දෙනා පෙලගැසී සිටිනවා මේ ප්‍රහාරය හෙළා දකින අතර මේක මෙතනින් එහාට යන්න නොදී වහාම ජාතික සමගිය වෙනුවෙන් පෙළගැහෙන්න ඕනි කියලා.
ප්‍රශ්නේ ඒක නෙවෙයි. ඔබ දන්නවා සිංහල ජාතිවාදය වපුරන්නත්, ඒවගේම දෙමළ ජාතිවාදය වපුරන්නත් හරියට අර ලේ ගිලින්න බලාගෙන ඉන්න කූඩැල්ලා වගේ ජාතිවාදය පෝෂණය කරන්න ඉන්න පිරිසක් මේ ප්රශ්නය දිහා බලාගෙන ඉන්නවා. ඔවුන්ට ජාතිවාදය නැත්නම් ජීවිතයක් නැහැ. ඒක තමයි ඔවුන්ගෙ පැවැත්ම බවට පත්වෙලා තියෙන්නෙ. ඒක නිසා මේ ගැටුම පාවිච් කරමින් ඉන්නවා ජාතිවාදි කොලාහල ඇති කරන්න. ඒ නිසා අපි කරුණාවෙන් ඉල්ලනවා සිටිනවා මේ ජාතිවාදී උගුලට ඔබ අහුවෙන්න එපා කියලා. තිස් අවුරුදු යුද්ධයේදී අපිට මොනවද ඉතිරිවෙලා තියෙන්නේ. දහසදහස් ගණනක ජීවිත අපිට අහිමි වුණා. දහසදහස් ගණනක දේපල අපිට අහිමි වුණා. තාම දරුවන්වො ඉන්නවා තමන්ගේ අම්මා තාත්තා නැතිව ජීවිතේ ගෙවන්නේ කොහෝමද කියලා දන්නේ නැති. ඒ වේදනාව අපිට හොඳටම ඇති. ඒ නිසා මේ ජාතිවාදය වපුරන්න යන මහත්තුරුන්ගෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලනවා ඔබ පරාද වුණාට ඔබ මේ රටේ ජාතිවාදය ඉස්මතු කරන්න හදන්න එපා. ඒක කවදාවත් අපේ රටට හොඳක් වෙන්නේ නැහැ.
ඒක නිසා අපි ඉල්ලනවා තරුණ තරුණියන්ගෙන්. ඔබ ඉතාමත් බුද්ධිමත්ව මේ ගැන කල්පනා කරන්න. සමස්ත ජනතාවගෙනුත් ඉල්නවා ඉතාමත්ම බුද්ධිමත්ව කල්පනා කරන්න ඕන කම තියනවා. ගින්දරක් අහුවුණු පලියට අතට අහුවෙන බාල්දියෙන් දාලා හරියන්නේ නැහැ. එකේ පෙට්ට්‍රල් තියෙන්න පුළුවම්කම තියනවා. ඒනිසා පෙට්ට්‍රල් දාගෙන හරියන්නේ නැහැ. හරියටම ගින්න නිවාගන්න ඕනකම තියනවා. ඒ නිසා සමාජවාදී තරුණ සංගමයත්, ඒ වගේම මේ පෙළගැහිලා ඉන්න බුද්ධිමතුන්, කලාකරුවන්, සිවිල් ක්‍රියාකාරීනුත් එක හඬකින් කියමින් ඉන්නේ ජාතිවාදය පැරදවිය යුතුයි කියලා.
ඒ වගේම අපි කවුරු අතරත් වෙනස්කම් තියනවා. අපි රටක් හැටියට ජීවත් විය යුතුනම් වෙනස්කම් වෙනස්කම් ලෙස පිළිගත යුතුමයි. එහෙම නැතුව අපට ජීවිතයක් නැහැ. ඔබ ඔබේ පවුල දිහා බලන්න. ඔබේ බිරිඳගෙ වෙනස්කම් නැද්ද? ඔබේ ස්වාමිපුරුෂයාගේ වෙනස්කම් නැද්ද? අපි එලියට ගියාට පස්සේ ගස්වැල්වල කොයිතරම් වෙනස්කම් තියනවද? ඒක තමයි අපූරත්වය හදලා තියෙන්නේ. ඒ නිසා ඒක තේරුම් ගන්න බැරිනම් රටක් ලෙස අඩියක්වත් ඉස්සරහට යන්න බැහැ. ඒ නිසා මේක සුළුකොට තකන්නේ නැතුව, මේක සිදුවීමක් සේ සලකා ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග තෝරන අතර විශේෂයෙන්ම මේ සිදුවීම පදනම් කරගෙන ජාතිවාදී මත පල කිරීම වහාම නතර කරන්න ඕන.
ඒ නිසා අපි සියලු දෙනා ජාතික සමගිය වෙනුවෙන් පෙලගැහෙන්න ඕන. අපි රටක් වශයෙන් ගත්තොත් සිංහල කොහෙන්ද ආවේ. දෙමළ කොහෙන්ද ආවේ. මුස්ලිම් කොහෙන්ද ආවේ කියන එක දැන් අදාල නැහැ. අපි හැමෝම මේ රටේ ඉපදෙනවා. අපි හැමෝම මේ රටේ ආර්ථීකයට සම්බන්ධ වෙනවා. අපි හැමෝම මහ පොලොවට පස් වෙනවා. ඒ නිසා අපි නැවත් කියනවා. වහාම මේ සිදුවීම දැඩි ලෙස හෙලා දකින අතර මේක දඩමීමා කරගෙන වෙනත් ජාතිවාදී ප්‍රශ්නයක් මේ රටේ ඉස්මතු කරන්න හදන්න එපා. ඒක නිසා විශේෂයෙන්ම තරුණ තරුණියන්ට රටේ ජනතාවට කියනවා ඔබ ප්‍රවේසම් වෙන්න. මේ ජාතිවාදී උගුලට අහුවෙන්න එපා. ඒ වගේම ඉතා සුලු පිරිසක් වෙන සිංහල හා දෙමළ මාධ්‍යවලට ඔබේ තරගයත් වෙන දේවල්වලට තියා ගන්න. මේ ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා. ඒ නිසා ජාතික සමගිය වෙනුවෙන් ඔබේ මාධ්‍ය, ඔබේ පෑන, ඔබේ පොත මෙහෙයවන්න. එවගේම මේ සංවිධාන සියල්ල අය අතර වෙනස්කම් තියෙනවා. ඒ වෙනස්කම් එකක්වත් අපට අදාල නැහැ. මොකොද රටක් ලෙස අපි හැමෝ ජීවත් වෙන්න ඕන නම් අනිවාර්යයෙන් ජාතික සමගිය තියෙන්න ඕන. ඒ නිසා අපි දැවැන්ත පවුරක් ලෙස එකට එකතුවෙලා මේ ජාතිවාදය පරාජය කරන්න ඉතාමත් හොඳින් මැදිහත්වෙනවා.”



















