මිග් වංචාවට උදයංග වීරතුංග අත්අඩංගුවට ගන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක් ඉල්ලයි

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කරන ලෙස අද (15) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගෙන් ඉල්ල තිබේ.

උදයංග වීරතුංග මේ වනවිට අධිකරණය මඟහරිමින් සිටින අතර ඒ රාජපක්ෂ පාලන සමයේදී ශ්‍ර‍ී ලංකා ගුවන් හමුදාවට මිග් ප්‍රහාරක යාන මිලදී ගැනීමේදී සිදු කර තිබෙන මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

රාජපක්ෂ පාලන සමයේදී රුසියාවෙන්  මිග් ප්‍රහාරක යානා මිලදී ගෙන ගැනීමේදී මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවට තොරතුරු වර්තා වීමත් සමග පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරමින් තිබේ. රුසියාවෙන් මිග් ප්‍රහාරක යානා මිලදීගැනීමේදී අතරමැදියා ලෙස කටයතු කර තිබෙන්නේ උදයංග වීරතුංග බව පැවසෙන අතර එම  ගනුදෙනුවට අදාළ ලිපි ලේඛණවල මුල්පිටපත් මේ වනවිට අස්ථාන ගතව ඇති බවද වාර්තා වේ.

අද දිනයේදී අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය දක්වා ඇත්තේ ගුවන් හමුදාවේ නීති අංශයේ අධ්‍යක්ෂකවරයා වෙත එම ලිපි ලේඛණවල මුල්පිටපත් ලබා දෙන ලෙසට දැනුම් දී තිබුණද මෙතෙක් එම ලේඛණ ලබා නොදුන් බවය. ඒ සම්බන්ධයෙන් ගුවන් හමුදාවේ නීති අධ්‍යක්ෂකවරයා අධිකරණයට කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙසද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය දැනුම් දී තිබෙන්නේ උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම හා ගුවන් හමුදාවේ නීති අධ්‍යක්ෂකවරයා අධිකරණයට කැඳවීමට සුදුසු නියෝගයක් ලබාදීම සඳහා එළැඹෙන 18 වැනි දින  කටයුතු කරන බවය.

Facebook
Twitter
LinkedIn