ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ කාලය ඊයේ (30) සිට (29 මධ්‍යම රාත්‍රියේ සිට) අවසන් වූ අතර ඒ සඳහා නව අධිපතිවරයෙක් ඉතා කඩිනමින් පත් කළ යුතු වුවද මේ දක්වා ඒ සඳහා කිසිවෙකුත් පත් කළ බවට ආණ්ඩුව මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර නිකුතවේදී සිදු කර ඇති වංචා සහගත ක්‍රියාවක් ජනතා විමුක්ති පෙරමුණ විසින් හෙළිදරව් කිරීමත් සමග ඔහුට එරෙහිව විවිධ පාර්ශවවලින් චෝදනා එල්ලවන්නට විය. එහි ප්‍රථිපලයක් ලෙස අර්ජුන් මහේන්ද්‍රන් සිය තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවට රට තුළ මතයක් ගොඩනැගුණු අතර පසුගිය 29 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු ඔහුගේ ධුර කාලය අවසන්වීමත් සමග නැවත ඔහු පත් කිරීමට ගෙන තිබූ තීරණය හකුලා ගැනීමටද ආණ්ඩුවට සිදු විය.
මේ වනවිට ඔහු සම්බන්ධයෙන් කෝප් කමිටුවේ පරීක්ෂණයක්ද සිදු කෙරෙණ අතර මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ නියෝග මත විගණකාධිපතිවරයා විසින් විශේෂ වාර්තාවක්ද සකස් කර පාර්ලිමේන්තුවට භාර දී තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් විගණකාධිපතිවරයා බියගන්වා අදාළ වාර්තාව පක්ෂක්ග්රාහීව ලබා ගන්නා බවට විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධණ, මහින්දා නන්ද අලුත්ගමගේ වැනි මහින්ද පිලේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම චෝදනා එල්ල කළ අතර කෝප් කමිටුවේ සභාපතිවරයා අර්ජුන් මහේන්ද්‍රන්ව කහ දියෙන් නහවන්නට සූදානම් වන්නේ යැයිද චෝදනා කළේය.
එයට ප්‍රතිචාර දක්වමින් කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා කළ ප්‍රකාශයෙන් සිහියට එන්නේ ‘අබ කෑ එකාගේ මොළය දනවා’ යන කතාවය. සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ තමන් ප්රමුඛ කෝප් කමිටුව ඉන්ජිනේරු සංස්ථාවේ යන්ත්‍රෝපකරන වැඩ බිම පරීක්ෂා කිරීමට යාමෙන් කළබලයට පත් විමල් වීරවංස ඔහුගේ වංචා දූෂණ සෙවීමට ගොස් ඇතැයි බිය වී තමාටත් කෝප් කමිටුවටත් මෙසේ නිර්දය ලෙස අපහාසාත්මක ප්‍රකාශ සිදු කරමින් පහර දෙන බවය.
කෙසේ නමුත් අවසානයේ විගණකාධිපති වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ආරංචිමාර්ග අනුව මාධ්‍ය වාර්තා කර තිබුණේ එම වාර්තාවෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා නැවත පත් නොකළ යුතු බවට නිර්දේශයක්ද සිදු කර ඇති බවය.
කෝප් කමිටුව අවස්ථා කිහිපයකදීම මහ බැංකු අධිපතිවරයාව කෝප් කමිටුව හමුවට කැඳවා තිබූ අතර මෙම පරීක්ෂණ සිදුවෙමින් පවතිද්දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිවිල් සංවිධානවලට පොරොන්දුවක් ලබා දෙමින් පැවසූවේ අදාළ පරීක්ෂණවලින් අර්ජුන් මහේන්ද්‍රන් වැරදි කරු වුවහොත් ඔහුට අදාළ ධුරය ලබා නොදීමටත් ඔහු නිවැරදි වුවහොත් එම ධුරය නැවත ලබා දීමටත් හැකි බව පරිදි අදාළ පරීක්ෂණ අවසන්වනතුරු මහ බැංකුවට වැඩ බලන අධිපතිවරයෙකු පත් කිරීමටය.
කෙසේ නමුත් පෙරේදා (29) දින හදිසියේම ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරමින් මහ බැංකුවට නව අධිපතිවරයෙකු පත් කරන බවට ප්‍රකාශ කර තිබූ අතර එම ප්‍රකාශය සිදු කර පැය කිහිපයකින් ජනාධිපතිවරයා මහ බැංකුවට ගිය අතර අගමැතිවරයා හා අර්ජුන් මහේන්ද්‍රන් මහතාද හදිසියේම එම අවස්ථාවට සහභාගී වී තිබිණ.
එහෙත් ජනාධිපතිවරයා කියූ නව අධිපතිවරයා පත් නොවූ අතර මේ වනවිට ලංකා ඉතිහාසයේ ප්රතමවරට මහ බැංකුවේ අධිපති ධුරය හිස්ව පවතියි. ජනාධිපතිවරයා හා අගමැතිවරයා සිවිල් සිංවිධානවලට පොරොන්දු වූ වැඩ බලන අධිපතිවරයෙකු හෝ පත් කර නැත.
මහ බැංකුව යනු රටේ මූල්‍ය හදවත බවත් මහ බැංකුව ක්‍රියා විරහිත වීම යනු හදවත ක්‍රියාවිරහිතවීම හා සමාන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පසුගියදා පැවති සම්මන්ත්රණයකදීද ප්‍රකාශ කර තිබිණ.









