යුරෝපීය වැසියන් තුළ සමාජවාදී නැඹුරුව ක්‍රමයෙන් දළුලයි

පසුගිය වසර කීපය තුළ ලෝක ධනවාදී ආර්ථික ව්‍යුහය අර්බුදයකට ලක්වීමත් සමගම, විශේෂයෙන්ම බටහිර සහ යුරෝපීය රටවල ඉහළ ධනවාදී පරිභෝජන රටාවකට හුරුවී සිටි ජනතාවගේ ජීවන තත්වය ඉතා සිග්‍රයෙන් කඩා වැටෙමින් පවතී.

බැංකු ඇතුලු මූල්‍ය ක්ෂේත්‍රයන්ගේ විශාල කඩාවැටීමත් සමගම, රාජ්‍යයන් විසින් සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුලු අනෙකුත් සුබසාදනයන් වෙනුවෙන් වෙන්කරන ලද මුදල් ඩොලර් බිලියන ගනනින් කපාහැරීමත්, රැකියාවන් අහිමිවීම හා විරැකියාව වර්ධනය වීමත්, අදික බදු බරත් නිසා වර්දනය වන දරිද්‍රතාවය ධනපති ආර්ථික ව්‍යුහයේ ප්‍රථිඵලයන් බව ජනතාව අවබෝධ කරගනිමින් සිටින බව පසුගිය දින කිහිපය තුළ යුරෝපාකරයේ හමා ගිය උද්ඝෝෂණ රැල්ලත් රාජ්‍යන් කිහිපයක පවත්වන ලද මැතිවරණවල ප්‍රතිඵලවලිනුත් සනාථ වේ.

සුබසාදන මුදල් කප්පාදුව, බදු ඉහළ දැමීම, රැකියා සීමා කිරිම් වැනි උපක්‍රමික ක්‍රියාමාර්ගවලින් අර්බුදයට මුහුණ දීම නැමති ධනපති පාලකයන්ගේ මූලධර්මයන්ට එරෙහිවෙමින් ඒවා පරාජය කරමින්, ඉතාලිය, ග්‍රීසිය, ප්‍රශ්නය වැනි රටවල වර්තමාන ධනපති පාලකයන් පරාජය කරමින්, වාමාංෂික නම්වලින් යුක්ත පක්ෂවලට බලයන් ලබාදීම සැලකිය යුතු කරුණකි.

මෙය තවදුරටත් සනාථ කරමින් ඉරිදා රාත්‍රියේ ප්‍රතිඵල නිකුත් කෙරුණ ජර්මනියේ විශාලතම ප්‍රාන්තයක්වන බටහිර ජර්මනියේ ප්‍රතිඵලවලින්  ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මාර්කල්ගේ කොන්සවෙටිව් පක්ෂය අන්ත පරාජයකට ලක්විය. එහිදී විරුද්ධ පක්ෂයන් වන සමාජ ප්‍රජාතන්ත්‍රයන්ගේ සහ ග්‍රීන් පක්ෂයේ ජයග්‍රහණයන් පෙන්නුම් කරන්නේ මීළඟ මහ මැතිවරණයෙන් වාමාංෂික පක්ෂවලට විශාල ජයග්‍රහණයන් හිමි විය හැකි බවයි.

මෙම වාමාංෂික ව්‍යාපාරයන් සැබෑ මාර්ක්ස්-ලෙනින්වාදී දැක්මක් තුළ සිටගනිමින් විප්ලවීය සමාජ ආර්ථික වෙනසකට ඒම රාජ්‍යයන් වෙනස් කිරීම සඳහා කටයුතු කරාවියැයි නිගමනයකට පැමිනීමට කල් වැඩිමුත්, මෙම ජයග්‍රාහී නැඹුරුවන්, අනෙකුත් අධිරාජ්‍යවාදී ග්‍රහණයට ලක්වූ ලංකාව වැනි රටවල්වල විප්ලවාදී ව්‍යාපාරවලට සහ ඔහුන්ගේ මතවාදී අරගලයන්ට සැබෑ පිටුවහලක් වේ.


 

Facebook
Twitter
LinkedIn