බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී ව්‍යාපාරිකයකු බියගන්වා කප්පම් ලබා ගැනීම ඇතුළු අධි චෝදනා 15ක් යටතේ එකස්ත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා, ඔහුගේ බිරිඳ මොරින් ස්ටෙලා රණතුංග මහත්මිය සහ නරේෂ් කුමාර් ෆාරිස් යන විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර ඔවුන්ට ලබන 17 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍ය තිලක මහතා ඊයේ (03) සිතාසිද නිකුත් කර ඇත.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වූ තොරතුරු හා සාක්ෂි අනුව 2010.04.10 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී සුරංජිත් ක්‍රිස්ටියන් ගිහාඩ් මෙන්ඩිස් නමැත්තා බියගන්වා අවස්ථා කිහිපයකදී චෙක්පත් පහක් මගින් එකී මුදල ලබාගැනීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම යන චෝදනා ඇතුළු අධි චෝදනා 15ක් විත්තිකරුවන්ට එරෙහිව නගා තිබේ.
විත්තිකරුවන්ට එරෙහිව නගා ඇති එම අධිචෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් 65 දෙනකු හා ලේඛන 35ක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා මහාධිකරණයට පෙන්වා දී තිබිණි. එම විත්තිකරුවන් එකී මුදල තමන්ට ලබාදෙන බවට පැමිණිලිකරුවන්ගේ පොරොන්දු නෝට්ටු ලබාගෙන ඇතැයි ද පැමිණිල්ල මගින් පෙන්වා දී තිබිණි. කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි අනවසර පවුල් 24ක් පදිංචි ඉඩම් කොටසක් එහි පදිංචිකරුවන්ව ඉවත් කොට ලබාදෙන බව පවසා එලෙස මුදල් ලබාගෙන ඇතැයි පැමිණිල්ලෙන් සඳහන් කර ඇත.









