උඩුවේ හිමිගේ අලි පරීක්ෂනය අවසන් – තීරණය නීතිපති අතේ

බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස අලි පැටවකු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් වී ඇති බව අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (28) කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

සිද්ධියට අදාළ පරීක්ෂණ වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව සඳහන් කර ඇති එම දෙපාර්තමේන්තුව නීතිපති උපදෙස් ලැබීමෙන් අනතුරුව සුදුසු නීතිමය පියවර ගන්නා බව අධිකරණයට දැනුම් දී ඇත.

පරීක්ෂණ කටයුතු අවසන් වී ඇති බැවින් නොතීසි ලද විට පමණක් අධිකරණයේ පෙනී සිටීමට ධම්මාලෝක හිමිට අවසර ලබාදෙන ලෙස ධම්මාලෝක හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇතත් අධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබේ. 

වැඩිදුරටත් වාර්තා වන්නේ මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට මෙම අධිකරණයට හැකියාව පවතින්නේද යන්න පිළිබඳ නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන දැනුම් දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී නඩුව යළි ජුනී මස 09 වනදාට කැඳවීමට තීරණය කළ බවය.

Facebook
Twitter
LinkedIn