සහයෝගීතාව, හා සංහිදියාව වෙනුවෙන් කටයුතු කරමු – ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ

ජනතා විමුක්ති පෙරමුණේ වෙසක් දින පණිවුඩය

සම්බුදු තෙමඟුල සිදු වූ දිනය ලෙස බෞද්ධ ජනයා විසින් පිළිගනු ලබන වෙසක් පොහෝ දිනය අදට යෙදී තිබේ. වෙසක් පොහෝ දිනය බෞද්ධ ජනයාගේ අතිමහත් ගෞරවාදරයටත් පූජනීයත්වයටත් පාත්‍ර වූ දිනයයි.

සහයෝගීතාව, හා සංහිදියාව වෙනුවෙන් කටයුතු කිරීම, ප්‍රතිපත්තිගරුක බව ආදී වූ සමාජයේ ප්‍රගමනයට හේතු වන ඉගැන්වීම් රැසක් උන්වහන්සේගේ දර්ශනයෙහි අඩංගු වේ. ශ්‍රී ලාංකේය සමාජය තුළ පවතින බොහෝ යහපත් ගුණාංග එම ඉගැන්වීම්වලින් පෝෂණය වූ බව අවිවාදිතය. විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය සමාජයේ සංස්කෘතිකාංග රැසකටම පදනම වූයේ බුදුදහමය.

අද සමාජය  බුදුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය  කරන බවක් පෙන්වුවද එම ධර්මය පිළිබද කතිකා සිදුවුනද සමාජ භාවිතාවේදී හා  පාලකයන්ගේ ප්‍රායෝගික ක්‍රියාවන්හිදී ඒ ධර්මය පිළිපදින බව පිළිබිඹු නොවීමද ගැටලූවක්ව පවතී. ජාති, ආගම් හා කුල භේදවලට බුදු දහමේ ඉඩක් නැත. නමුත් ඒවා විවිධ කූට අරමුණු වෙනුවෙන් යළි යළිත් ඉස්මතු කර ගැනීමේ වෑයමක රටේ පාලක පැලැන්තිය නිරතව සිටීමද අද දවසේ බුදු දහමේ හරයට සිදු කෙරෙන ලද නිග්‍රහයකි. එබැවින් මෙකී ව්‍යායාමයන්ගෙන් විනිර්මුක්ත වූ පොදු අරමුණක් වෙනුවෙන් සමාජය පෙළ ගැසීමට හා බුදු දහමේ හරයාත්මක ඉගැන්වීම් තම ජීවිත තුළට ඒකරාශීකර ගැනීම වෙනුවෙන් ක්‍රියාකිරීම ද වඩාත්  අවශ්‍ය වේ.

බුදුන් වහන්සේ දේශනා කළ එම යහපත් ගුණාංග තවදුරටත් වර්ධනය කරමින් ඒවා ආරක‍ෂා කිරීමට අදිටන් කර ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණ මෙම වෙසක් පොහෝ දිනයේදී ශ්‍රී ලාංකේය බෞද්ධ ජනයා ඇතුළු ලෝකවාසී බෞද්ධ ජනයාගෙන් ඉල්ලා සිටියි.

Facebook
Twitter
LinkedIn