ශ‍්‍රි.ලං.නි.පයේ හොරු සමග සෙල්ලම් කරන – මෛත්‍රී

”සියළු දානයන්ට වඩා බලය දන් දුන් විට මහා නිදහසක් පුදුම සතුටක් දැනෙන බව”ජනපති මෛත‍්‍රී ප‍්‍රකාශ කළේ 19 සංශෝධනය සම්මත වූ පසුවය. එදා එසේ ප‍්‍රකාශ කළ මෛත‍්‍රී අද පුදුමාකාර වෙහෙසක් දරන්නේ ශ‍්‍රී.ලං.නි.පක්ෂ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමටය. තමා වැනිම නව දැක්මක් ඇති අගමැතිවරයෙකු පත්කර ගැනීම අභිලාෂය බවද ඔහු කීය. එ.ජා.පයත් සම`ග කිසිදු ගිවිසුමක් නැති බවත් දින 100 වැඩ පිළිවෙළට එකඟ වූ බවත් කී ඔහු දැන් රට පුරා ශ‍්‍රී.ලං.නි.ප. ප‍්‍රතිසංවිධානයේ යෙදී සිටියි.

මේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? එදා ශ‍්‍රී.ලං.නි.ප.ය අතහැර ”පොදු අපේක්ෂකයා”ලෙස ”හංසයා”ලකුණින් ජනාධිපතිවරණයට තරඟ කළ බව ජනපති මෛත‍්‍රීට අමතක වීද?

ජනවාරි 8 දා මේ රටේ ජනතාව බහුතරයෙන් පරාජය කළේ මහින්ද රාජපක්ෂ පමණක් නොවේ. වරදාන – වරප‍්‍රසාද දෙමින් ඔහු අටවාගෙන සිටි තුනෙන් දෙකේ බලය සහිත සන්ධානයද රාජපක්ෂ පවුලේ පාලනය හා එක්ව රට මංකොල්ල කෑ දූෂිත – හොර- වංචාකාරී ඒ අශීලාචාර ආණ්ඩුවද ඒ කතිරයෙන්ම පරාජය විය.

එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩු පාලනය තුළදී වක‍්‍රාකාරයෙන් සිදු වූ විවේචන – මතවාද – විලාප හා මැසිවිලි රැුසකි. ”ශ‍්‍රී.ලං.නි.ප.යට බලය තිබෙන විට මොළේ නැහැ. මොළේ තිබෙන විට බලේ නැහැ”කීවේ ශ‍්‍රී.ලං.නි.ප.යේම අයයි. ”මේ ආණ්ඩුව අද රකින්නේ තෙන්නකෝන්ලාද – එතනෝල්වරුදැයි”ඇසුවේ ඇමති ජනකය. ජනතාව ඉදිරියේ හ`ඩ – හ`ඩා ශ‍්‍රී.ලං.නි.ප.ය රකින්නට ඔහු කතා කළේය. රත්නසිරි- විදුරලා කීවේ තමන්ට අඩු සැලකිලි ලැබෙන බවය. විමල් වීරවංශගේ නඩය සංශෝධන හදාගෙන පාර්ලිමේන්තුව හා කැබිනෙට්ටුවද වර්ජනය කරමින් ආණ්ඩුවේ ”බල්ලන් නෑවීමට”තැත් කළේය. හෙළ උරුමයද සංශෝධන රැුගෙන ගොස් මහින්දගේ පා පහර ලැබ අනාථ විය. ශ‍්‍රී.ලං.නි.ප.යේ අයට මහින්ද ආණ්ඩුවෙන් ලැබුණ අඩු සැලකිලි නිසා ඒ අය සිටියේ සිත් තැවුළෙනි. මහින්ද රාජපක්ෂ හා පවුලේ පාලනය ඉදිරියේ අනාථ වී සිටි බොහෝ පිරිස් රජතුමාට කට නොහෙල්ලූවද තැනින් තැන විවේචන ඇසුණි. ජනක – රෙජිනෝල්ඞ් – රාජිත – දුමින්ද – තිලංග ආදී 13 දෙනෙකු ”දළදා ව`දින්නට”ගියේද මේ මතභේද නිසාමය. මේ සියල්ල හැමටම වඩා හො`දින් මෛත‍්‍රී අවබෝධ කරගෙන නොසිටියේද? තමාද සිටි ආණ්ඩුවේ ඒ සියළුම දූෂිතයන් ගැන මෛත‍්‍රී නොදන්නේද? මෛත‍්‍රී සමඟ එදා එළියට ආ කිහිප දෙනෙකුටද දූෂණ- වංචා – චෝදනා තිබේ. අප ඔවුන්ගේ පැටිකිරිය ගැනද නොදන්නවා නොවේ. එදා මහින්ද හා එක්වී රට කෑ පිරිස ගැන මෛත‍්‍රීට අප අමුතුවෙන් කියා දිය යුතුද?

රාජිතගේ බොරු..

පොදු අපේක්ෂකයා ලෙස සීරුවෙන් ජය ලැබ ජනතාවට අවශ්‍ය පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමට ඉඩ සැලසීම වෙනුවට එ.ජා.පය හා ශ‍්‍රී.ලං.නි.ප. ඈඳාගෙන විකාරයක් කිරීමට මෛත‍්‍රීට ජනවරමක් ලැබුණේද? ජනතාවගේ අපේක්ෂාව වූ කොමිස් – දූෂණ- වංචාවන් කළ අයට දඬුවම් දීම දියාරු කිරීමට ජනාධිපති මෛත‍්‍රීට ජනවරමක් ලැබුණේද? අද තම ආණ්ඩුවේම නියෝජිතයන් දූෂිත – රාජපක්ෂ සහෝදර සමාගම සමඟ රහස් සාකච්ඡා පවත්වන බව ජනපති නොදන්නේද? අද වන විට අංශක 90 ක්ම ජනපති ගමන් කරන්නේ වෙනත් ම`ගකය. නාමල් රාජපක්ෂලා සම`ග සාකච්ඡුා කිරීමෙන් ඔහු බලාපොරොත්තු වන්නේ කුමක්ද? ගිය ආණ්ඩුවේ ”හොර කප්පිත්තන්ගෙන්”සැදුම් ලද කොමිටි හදා මහා හොර නායකයා ඈ`දා ගන්නට කරුණු කාරණා සිද්ධ වන්නේ ජනපති මෛත‍්‍රී ඉදිරිපිටමය. ”මහින්දට මොනවත්ම දෙන්නේ නැහැ”ජනපති කීවේ යැයි කියන්නේ එකට තමා සමඟ ආණ්ඩුවෙන් එළියට ආ ඇමති රාජිතය. රාජිත කියන්නේ බොරු යැයි කියන්නේ ඩිලාන්ය. මෛත‍්‍රීගේ බෙල්ල හොරෙන්ම කපා මහින්දව රජ කිරීමට මාන බලමින් සිටින පිරිසක් හා එක්ව ජනපති මෛත්‍රී මේ පරදුවට තබන්නේ තමාගේ ජීවිතය – දේශපාලනය පමණක් නොවේ. රටේ ජනතාවයි. ඔහු ජනපති කර වීමට වෙහෙස වූ ජනතාවයි.

        19 වන සංශෝධනයෙන් කුඩා තටු කීපයක් කපා දැමූ පමණින් විධායක ජනාධිපති ධුරයේ විෂ අඩු නොවේ. ඊළඟ වාරයේ මෛත‍්‍රී ජනපති ධුරයට තරඟ නොකරන බව එදා කියවුනේය. අද මහින්ද පාර්ශ්වය බිලිබාගනිමින් දූෂිත ශ‍්‍රී.ලං.නි.ප.යේ මැති- ඇමතිවරුන්ට ඇමතිකම් පුදමින් මේ යන ගමන ගැන අනාවැකි කීම දැනට කළ නොහැකිමුත් යන්නේ හොඳ ගමනක් නම් නොවේ. දැන් 20 වන සංශෝධනය පිළිබඳ මූලික සාකච්ඡාවලදී මන්ත‍්‍රීවරු 257ක් ලෙස තීරණය කර හදිසියේ 237ක් ලෙස අනුමත කර ගැසට් කිරීම සුළු පක්ෂවලට කළ අසාධාරණයක් නොවේද? අද රටේ ජනතාව අති විශාල වියදමක් පාර්ලිමේන්තුව වෙනුවෙන් වැය කරයි. ඒ මුදලේ ප‍්‍රමාණයට රටට- ජනතාවට සේවයක් මන්ත‍්‍රීවරුන්ගෙන් සිදුවේද? පාර්ලිමේන්තුවේ මැති- ඇමතිවරුන්ට අමතරව අද පළාත් සභා සඳහාද ජනතා මුදල් වැයවේ. දේශපාලන පක්ෂ විසඳුම් සොයන ආකාරයට විශාල මන්ත‍්‍රීවරු පිරිසක් වැඩි වූ විට ඒ වියදම්වල බරද දැරිය යුත්තේ අද අසරණව සිටින ජනතාව නොවේද? අ.පො.ස. සාමාන්‍ය පෙළවත් සමත් නැති බොල් පිළිම වන් මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවට යැවීමේ ශාපය අද අපි විඳිමු. තව යැව්වත් සිදු වන්නේ එයමය. 

අද මාදුළුවාවේ සෝභිත හිමියන්ද ප‍්‍රකාශ කරන්නේ මේ ගැසට් පත‍්‍රය අවලංගු කර සුළු පක්ෂ වලටද සාධාරණය ඉටුවන ක‍්‍රමයක් සොයන ලෙසයි. සුළු පක්ෂවලට අසාධාරණයක් සිදු වීම භයානකය. එදා උතුරේ ද්‍රවිඩ පක්ෂ දිය කර තහනම් කර දැමීමේ අවසන් ප‍්‍රතිඵලය වූයේ යුද්ධයයි. එදා ජනතා විමුක්ති පෙරමුණට සිදු වූයේද එයයි. ජනතාවට අවශ්‍ය අමනාපකම් ඇතිවන මනාපය අවලංගු කර තමන්ගේ ආසනයට නියෝජිතයෙකු පත්කර ගැනීමයි. යෝජිත ද්විත්ව ඡුන්ද කාඞ් ක‍්‍රමයද සලකා බැලීම උචිතය.

දැනට සිටින මැති ඇමති දරුවන්ට රැකියා අවස්ථා බිහි කිරීම මෙහිදී සිදු නොවන්නේද? මේ රටේ ජනතාවගේ සංවර්ධනය වෙනුවට තව තවත් රටේ මුදල් කාබාසිනියා කිරීමට මන්ත‍්‍රී ධුර වැඩි කිරීම ජනතාවගේ පැත්තෙන් බරපතල අසාධාරණයකි. එහෙන් මෙහන් අඬු බඬු කඩන පැලැස්තර ක‍්‍රමෝපායන් නොව සම්පූර්ණයෙන් නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම යුගයේ අවශ්‍යතාවයකි.

ජනතාව නොදනිති..

අද සිදුවෙමින් පවතින දේශපාලන ක‍්‍රියාවලිය දෙස විමසිලිමත්ව බැලූ විට කිසියම් කුමන්ත‍්‍රණකාරී පෞද්ගලික න්‍යාය පත‍්‍රයක් ක‍්‍රියාවට නැංවෙමින් තිබෙන බව පෙනේ. මෙම ආණ්ඩුව පිහිටුවා ගැනීමට පූර්ණ දායකත්වය දුන් අතුරලියේ රතන හිමියන් දැන් කියන්නේ විසිවන සංශෝධනය අනුමත කිරීම සඳහා නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ කථාවකි. දැන් එ.ජා.පය සමඟ දීගය අවසන්දැයි අප නොදන්නෙමු. නව ආණ්ඩුව යනුවෙන් අදහස් කරන්නේ දූෂිත ශ‍්‍රී.ලං.නි.ප.යෙන් දැනට ළං කරගෙන සිටින අය හා එක්ව බිහි කෙරෙන අලූත් ආණ්ඩුවක්ද? චම්පික රණවක අගමැති කෙරෙන ආණ්ඩුවක්ද? එසේ නැතිනම් අනුර යාපා ඇහෙන් පෙන්වන අගමැති නිමල් සිරිපාලගේ ආණ්ඩුවක්ද? ජනතාව නොදනිති. මේ ආකාරයට ජනපති මෛත‍්‍රීට හා ඔහුගේ විශේෂිත නඩයට අවශ්‍ය ආකාරයට ආණ්ඩු හැදීමට ජන වරමක් ලබා දුන්නේ කවුද? අවසන් මොහොතේ මහින්ද හා ලැගීමට කළ සියළු ප‍්‍රයෝගයන් වැරදී නව වෙනසකට මග පෑදෙන ජනතා වේදිකාවට ගොඩ වූ පමණින් මැතිවරණ මෙහෙයුමක නිරත වූ පමණින් හෙළ උරුමයේ කොටසකට ආණ්ඩු පිහිටුවීමට වරමක් ලැබුණේද? අද සත්‍යය නම් හෙළ උරුමයෙන් කඩාගෙන ගිය ගම්මන්පිළ ඇතුළු පාර්ශ්වය චම්පිකටත් වඩා බලවත්ව මෛත‍්‍රී ජනපතිට පහර ගසමින් සිටින බවයි. මෛත‍්‍රී ජනපති වූයේ මේ කඩාගෙන අවසන් මොහොතේ ආ දේශපාලඥයන් නිසානම් නොවේ. රට තුළ මහින්ද හා දූෂිත නඩය ඇති කර තිබූ මජර දේශපාලන ක‍්‍රමය, ඒකාධිපති අශිෂ්ට පාලන ක‍්‍රමයට විරුද්ධව ප‍්‍රගතිශීලී ජන කොටසක් අසීරුවෙන් ඇති කර තිබූ මතවාදය හා මහජන වේදිකාව නිසාය. දීර්ඝ කාලයක් මහින්ද හා එක්ව මේ සියළු විනාශයන්ට අනුකූලතාව දක්වමින් නිහඬව ඒ නරා වළේම සිටි පිරිසක් හදිසියේ ජනතා වේදිකාවට ගොඩ වූ පමණින් මේ විසල් ජයග‍්‍රහණය ලැබුණේ යැයි කිසිවෙකු කියන්නේ නම් ඔහු පිස්සෙකි. නැතිනම් කපටියෙකි.

 

මෛත‍්‍රී ජනපති ලෙස ලද ජය එ.ජා.ප ආණ්ඩුව බිහි වීමට හේතු විය. පරාජය වූ මහින්දගේ ආණ්ඩුවේ මැති ඇමති බහුතරය ලෙස පාර්ලිමේන්තුවේ සිටියදී සුළුතරයක් වූ එ.ජා.ප.ය ආණ්ඩුවක් ගෙන යාම අසීරු බව වටහා ගැනීමට තරම් රනිල් අගමැති බොළඳ වීද? අනික් අතට දින 100 ක් කියමින් ව්‍යවස්ථා සංශෝධනය පටලවාගෙන අවුරුදු 5ක් වැඩ කළ හැකිද? කෙසේ හෝ ආණ්ඩුව ගැට ගසාගෙන යා යුතු නිසා කෝටි ගණනින් ණය වෙමින් ප‍්‍රදර්ශනාත්මක ලෙස ඉදිරියට ගියද රටේ ආර්ථිකය දරුණු ලෙස කඩා වැටී ඇත. එය සත්‍ය නොවේද? දැන් රනිල් ගේ ආණ්ඩුව හා මෛත‍්‍රීගේ ආණ්ඩුව වශයෙන් ආණ්ඩු දෙකකි. රනිල්ගේ ඇමති පිරිස 35ක් වෙද්දී මෛත‍්‍රී ජනපතිගේ ඇමති පිරිස 36 කි. තමා එදා පත් කළ රනිල් අගමැතිට එරෙහිව විශ්වාසභංග ගෙන එන්නේ මෛත‍්‍රී ජනපතිගේ පක්ෂයේ නිමල් සිරිපාලලාය. මෛත‍්‍රීගේ ශ‍්‍රී.ලං.නි.ප.යේ අය රනිල්ට මුදල් ඇමතිට විශ්වාසභංග ගෙනෙද්දී නිහඬව ඒ දෙස මෛත්‍රි ජනපති බලා සිටීම සදාචාරවත් නායකයෙකුට කළ හැකි ක‍්‍රියාවක්ද? යහපාලනය එයද? දැන් සිදුවන මේ නාඩගම දෙස බලන විට නිමල් සිරිපාල අගමැති කරගෙන ආණ්ඩුවක් පිහිටවුවද පුදුම වන්නට දෙයක් නැත. ඊළඟට ශ‍්‍රී.ලං.නි.ප.ය හා සන්ධානයේ සිටි හැමටම මහින්ද රාජපක්ෂ අතහැර පැමිණියහොත් මීළඟ මැතිවරණයේදී නාමයෝජනා ලැබෙන බවට සැකයක්ද නැත. දැන් මෛත‍්‍රී ජනපතිට ඇති එකම ප‍්‍රශ්නය මහින්ද රාජපක්ෂගේ කිරිපණු දැඟලිල්ලය.

 

මහින්ද රාජපක්ෂ සිය දේශපාලන මෙහෙයුම සඳහා කොළඹ ටොරින්ටන් පෙදෙසින් මිලියන 35කට නිවසක්ද මිලදීගෙන තිබේ. අධිකරණයෙන් ඇප මත නිදහස් වූ බැසිල් රාජපක්ෂ ව්‍යාපාරික ඒ. එස්.පී ලියනගේ සතු පීකොක් මන්දිරය යළි මිළදී ගැනීමටද සාකච්ඡා කර තිබේ. ක‍්‍රියාකාරී දේශපාලනයට නොඑන බව පවසන ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ පිරිසක් හා රහසිගත සාකච්ඡාවක නිරත වී ඇති අතර ඉන් පසු මහනාහිමිවරුද බැහැ දැක තිබේ. මහින්දගේ මැතිවරණ ප‍්‍රකාශනයද සූදානම් බව පැවසේ.  වීරවංශගේ පක්ෂයේ අය ආසන රැුසකටම සංවිධායකයන් පත්කර මහින්දගේ පහනෙන් එළිය බැලීමටද සියළු කරුණු සූදානම් කර තිබේ. තමන්ගේ බිරි`ද ශිරන්ති රාජපක්ෂ ළඟට යවා තනතුරක් නැතිව සිටි වැලිවිට දැන් රාජපක්ෂ පවුලේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් වී සිටී. එදා මහින්ද ජනපති සමයේ ඇති පදමින් හොරකම් කරගත් මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අද කොහිද? මහ ඇමති සරත් ඒකනායක ළඟ සිට මහින්ද ජනපති ළඟට රිංගා අධ්‍යක්ෂ ජනරාල් පදවි දැරූ විජයානන්ද හේරත් විදේශයකදී කැමරා හොරකමකට අසු විය. රැකියාව අහිමි වූ ඔහු යළි ජනපති හිතවතෙකු මගින් ”දරුවාට කිරි දෙන්නටවත් සල්ලි නෑ”යයි කියා අඬා වැළපී යළි තනතුර ලබාගෙන හොඳටම හොරකම් කළේය. ජනපති මහින්ද පැරදුණු පසු පැනගොස් දැන් මහනුවර ගෙලිඔය ප‍්‍රදේශයේ අතිශය සුපිරි මන්දිරයක වාහන රැසක්ද තබාගෙන විවිධ ව්‍යාපාරික කටයුතුවල යෙදෙමින් සැඟවුණු ජීවිතයක් ගත කරයි. එදා විසිකර සිටි වැලිවිටලා අද මහින්දට ශිරන්තිට දර දිය අදින්නේ ”මහින්ද සුළඟින්”මේ රට සළිත කර අමුතුම අන්දමේ ආශ්චර්යයකට මේ රට ඇදගෙන යාමට විය යුතුය. කෝටි ප‍්‍රකෝටි ගණන් හොරකම් කර අද සැඟවී සිටින උපදේශකවරු – ජනපති සම්බන්ධිකරණ ලේකම්වරු – අතිරේක ලේකම්වරු රාශියකි. අද නවීන දේශයක් අදීන ජාතියක් සුහද සමාජයක් නමින් යළි රටේ ජනතාව රැවටීමට මහින්ද පවුල හා හොර රැුළ වෙහෙසෙන ආකාරය මෛත‍්‍රී ජනපතිට නොපෙනේද? රාජපක්ෂ පවුලට එරෙහිව ඇති ප‍්‍රබල චෝදනා – හොරකම් විමර්ශනයට පමණක් සීමා වී  ඇති බව ජනපතිට නොපෙනේද? තමා පවිත‍්‍ර දේශපාලනයක මෛත්‍රි සහගත ආකල්පවලට එළඹ සිටි පමණින් රාජපක්ෂවරු හීලෑ කර ගත හැකිවේ යැයි ජනපති මෛත‍්‍රී සිතන්නේද? රාජපක්ෂවරු පරාජය පිළිගැනීමට අකමැති – සත්‍ය අවබෝධ කර ගැනීමට උත්සාහ නොකරන – තමන් වැරදි බව නොදකින ජන මානසිකත්වය වැරදියට කියවන උද්ධච්ඡ පිරිසකි. එදා වටේ සිටි කේවට්ට පිරිස ඔහුගේ ඔළුව පමණක් නොව ආත්මයද විනාශ කළහ. දැන් අපට දකින්නට සිටින්නේ හිස් – උද්ධච්ඡ සාටකයක් ලා ගත් රූපකායක් පමණි. එවැනි රූපකායන්ට ලැජ්ජා බය දැනෙන්නේ නැත. මෙවැනි නරුමයන් පිරිසක් යළි බලය ලබා ගැනීම සඳහා කැස කවන ආකාරය රටට නොරහසකි.

ජාවාරම් කාරයන්ට තැනදීම..

අද වන විට රටේ දේශපාලන ක‍්‍රියාකාරකම් කෙසේ වුවද රට පුරා ගම්මානවල තත්ත්වය වෙනස්ය. ජනපති මෛත‍්‍රී කෙළින් කිරීමට වෙර දරන ශ‍්‍රී.ලං.නි.ප.ය වෙනුවට දැකිය හැක්කේ මහින්ද රාජපක්ෂ සහ කල්ලියත් ඔහු වටා සිටිමින් බලය අයුතු ලෙස භාවිතා කරමින් මහජනතාව කොල්ල කෑ ප‍්‍රාදේශීය දේශපාලකයන් පිරිසක් හා දේශපේ‍්‍රමයේ වචන වලින් මුළා කර ජාතිවාදී මගක ගමන් කරවන අන්ධ භක්තිකයන් පිරිසකුත් පමණි. කොටින්ම අද මෛත‍්‍රී ජනපති පත් කළ ආසන සංවිධායක වරු කිහිප දෙනෙක්ම දරදිය අදින්නේ මහින්දටය. මහින්ද විසින් අවුළුවන ලද ජාතිවාදය තමුන්ගේ අනාගත දේශපාලන ගමන් මගේ එකම ගැලවීම බව ඔවුන් දනිති. කිසිදු ජනතා සේවයක් සිදු නොකර දේශපාලනයට කඩා පාත් වූ මොවුන් පසුගිය කාලයේ බලය ලබා ගත්තේ අයථා ක‍්‍රම වලින් උපයා ගත් මුදල් අසීමිත ලෙස වියදම් කරමිනි. තමුන් විසින් ජනතාවට කිසිදු සේවයක් කර නොමැති බව හොඳින් දන්නා මොවුන් යුද ජයග‍්‍රහණය සමඟ නිර්මාණය කළ කෘතිම දේශපේ‍්‍රමයත් මහින්දගේ ප‍්‍රතිරූපයත් පෙන්වා ආණ්ඩු බලය හා මැර බලය යොදා ගනිමින් නීතිය නිහඬ කර ජනතාවගේ ඡුන්දය කොල්ල කා ගත්හ. එහෙත් සාධාරණ ලෙස පැවැත්වෙන මැතිවරණයකින් තමුන්ට ජයග‍්‍රහණය කිරීම අසීරුවන බව දන්නා ඔවුන් දැන් උත්සාහ කරන්නේ මහින්ද විසින් නිර්මාණය කර ගත් අන්ධ ජාතිවාදී ඡුන්ද ප‍්‍රමාණයේ පිහිටෙන් පාර්ලිමේන්තුවට – පළාත් සභාවට හෝ ප‍්‍රාදේශීය සභාවට රිංගා ගැනීමටය. මහින්දව මාකට් කිරීමෙන් තමුන්ගේ ගැලවීම පතන මේ පිරිස විසින් මවා ඇති ”මහින්ද සුළඟ සැබෑ ජනතා අවශ්‍යතාවයක් හෝ ශ‍්‍රී.ලං.නි.ප.යේ එකම ගැලවීම ලෙස දකින්නේ නම් එය මුළාවකි. මහින්ද සිය පාලන කාලයේදී සැබෑ ලෙසම ශ‍්‍රී.ලං.නි.ප.ය ශක්තිමත් කළා නම් අද එකම පරාජයක් හමුවේ එය දුර්වල වනුයේ ඇයි? සැබවින්ම පක්ෂය සමඟ සිටි පැරණි නායකයන් කපා හරිමින් ජාවාරම්කාරයින් හා දෑත ශක්තිමත් කිරීමට පැමිණි එ.ජා.පයේ සිටි අන්ත දූෂිත මිනීමරුවන්ගේ සිට එල්.ටී.ටී.ඊ. නායකයින් දක්වා විවිධාකාර ගැත්තන් එම තනතුරුවලට පත් කරමින් තමුන් නැති නම් පක්ෂයක් නැතිවන තැනට වැඩ සිද්ධ කළා පමණි. පක්ෂය ශක්තිමත් කරනවා නම් සමහර ආසනවලට නිසි ආසන සංවිධායකවරුන් පත් නොකළේ මන්ද? උදාහරණයකට මෙතෙක් කල් දැදිගම ආසනයට ශ‍්‍රී.ලං.නි.ප. ආසන සංවිධායකයෙකු නොසිටි අතර (මහින්ද එදා පත් කර තිබුණේ සූරියප්පෙරුම ය. මෛතී‍්‍ර ජනපති වරකාපොල ප‍්‍රාදේශීය සභා සභාපති විජේතුංග හා පළාත් සභා මන්ත‍්‍රී උදයකාන්තද සම සංවිධායකවරු ලෙස පත් කළේ නොබෝදාය. පුදුමයට මෙන් ඔවුන් දෙදෙනාද කටවුට් ගසමින්ම දේශපාලනයේ යෙදෙන්නේ මහින්ද වෙනුවෙනි. සත්‍යය මෙයයි.

වසර 9ක් රට පාලනය කළේ මහින්දය. ඍජුවම පළාත් පාලනයට ඔහු දායක විය. ගමේ පාරක් කැපුණේ -කොන්ක‍්‍රීට් පාරට දැමුණේ – පාලමක් ඉදිකෙරුණේ – පාරට බසයක් වැටුණේ ඒ කාලයේදීය. අද විසුරුවා හැර තිබුණද ගම්බද ප‍්‍රාදේශීය දේශපාලඥයන්ට ඡුන්දයකදී කිව හැක්කේද ඒ කරුණය. ජාතික වශයෙන් යුද්ධය දිනීමය දැන් ජනපති මහින්ද ප‍්‍රතිසංවිධානය කරන ශ‍්‍රී.ලං.නි.ප.යේ ප‍්‍රාදේශීය නායකයන්ට කීමට ඇති කරුණු කාරණා කිම්ද? ඒ ආණ්ඩුවේ සිටි හොරු ගැනද? පාරවල් හා සංවර්ධනයෙන් ගසා කෑ සැටි ගැනද? දින 100 ගැනද?

එදා මහින්ද ජනපතිට තම දැක්ම මතය දේශපාලන බිම් මට්ටමට ගෙන යාමට යාන්ත‍්‍රණයක් තිබුණි. අද සංවිධායක බලතල එපා යයි කියමින් සිටින ජනපති මෛත‍්‍රීට එවැනි යාන්ත‍්‍රණයක් තිබේද?  අද ඔහුගේ මාධ්‍ය ඒකකයට පවා ඔහුගේ සිතුම් පැතුම් දැන දැක්මක් වැටහීමක් නැති බව පැහැදිලිය. ඔහුගේ උපදේශකයන් – සම්බන්ධීකරණ නිලධාරීන්ට තබා ලේකම්ටවත් මෛත‍්‍රී ගැන – ඔහුගේ දැක්ම ගැන වැටහීමක් තිබේද? පරපුටු දේශපාලනයේ යෙදී හුන් පිරිසක් ඔහු වටා සිටී. මේ ආකාරයෙන් මෛත‍්‍රීට දුර ගමනක් යා හැකිද? මහින්දට තමා විසින් නිර්මාණය කරගත් යාන්ත‍්‍රණය තිබේ. මෛත‍්‍රීට දින 100 නොව මාස හත අටක් එ.ජා.ප.ය හා ලැග දැන් ශ‍්‍රී.ලං.නි.ප.ය අච්චාරුව හා එක්වීමට ගියාට රටේ ඔහුට ඡුන්දය දුන් ජනතාව ඒ පැත්තට ගන්නවා බොරුය. මෛත‍්‍රී ඉතා ඉක්මනින් තමා පත් කළ ජනතාව අමනාප කර ගනු ඇත. මහින්දව පරාජය කිරීමට පක්ෂය කඩාගෙන යාම නිසා ශ‍්‍රී.ලං.නි.පාක්ෂිකයන්ගේ කෝපයට ලක් වී සිටින මෛත‍්‍රී තමුන්ට ඡුන්දය දුන් – තමුන් විසින් පාවා දුන් ජනතාවගේද වෛරයට ලක්වනු නොඅනුමානය. එක පැත්තකින් මහින්ද පරාජය වුවත් ඔහුට සැබෑ ලෙසම ආදරය කරන ජන පිරිසක් සිටින බව නිසැකය. ඔවුන් මහින්ද සමඟ පරාජයේදීත් සිටින බව පෙනේ.  එහෙත් මෛත‍්‍රීට එවැනි පිරිසක් සිටීද? මහින්ද පරාජය කිරීමට අවස්ථාවෝචිතව සුදුසුම පුද්ගලයා ලෙස තෝරා ගත්තා විනා මෛත‍්‍රීව අදහන හෝ මෛත‍්‍රීට ආදරය කරන පිරිසක් ඔහුට ඡුන්දය දුන් ලක්ෂ 62 අතර සිටීද? තමා වටා සිටින පක්ෂ විපක්ෂ දේශපාලන කුමන්ත‍්‍රණකරුවන්ගේ නිරන්තර තර්ජනයට ලක්ව සිටින මෛත‍්‍රීට දැන් ඇති එකම ආරක්ෂාව ජනතාව පමණක් බව ඔහු දත යුතුය. ඔහුව පත් කළ බුද්ධිමත් හා ප‍්‍රගතිශීලී

ජනතාවගේ විශ්වාසය දිනා ගන්නා අයුරින් කටයුතු කිරීම මඟින් විනා ශ‍්‍රී.ලං.නි.ප.ය ශක්තිමත් කිරීමක් තුළින් ඔහුට පැවතිය නොහැකි බව පැහැදිලිය.

මහින්දගේ අරමුණු

අද ගොඩ නැගෙන තත්ත්වය තුළ ඉදිරි මැතිවරණයකදී ශ‍්‍රී.ලං.නි.ප.යට කුමක් සිදු වේද? මහින්ද සිය ජීවිත කාලය තුළදී කළේම සියළුම දේශපාලන පක්ෂ කඩා බෙදා වෙන් කිරීමය. මෙවරද අනිවාර්යෙන් කුමන පක්ෂයෙන් හෝ සිය අතවැසියන් ඉදිරිපත් කර ශ‍්‍රී.ලං.නි.ප.ය දෙකඩ කරන බව නිසැකය. තමුන්ගේ පාලනයෙන් ගිළිහුණු රට විනාශ කර දැමීම ඔහුගේ අරමුණයි. දැනටමත් සියල්ල ඒ සඳහා සූදානම්ය.

අද ශ‍්‍රී ලංකාවට එරෙහිව තිබූ ජාත්‍යන්තර කළු පැල්ලම් මැකෙමින් තිබෙන බව සැබෑවකි. ජනපති මෛත‍්‍රී අන් සියළු ජනාධිපතිවරුන්ට වඩා ජන මතයට ගරු කරන – චාම් – නිහතමානී පුද්ගලයෙකු බවද සැබෑවකි. ඔහු ඒකාධිපති බල වියරුවකින් පෙළෙන බවක්ද නොපෙනේ. ඒ පැසසිය හැකි උතුම් ගුණාංග හා අන්තර්ජාතික තත්ත්වයන් තුළින් පමණක් යහපත් දේශයක් යහ පාලනයක් ගොඩ නැගෙනු ඇත්ද? 19 හා 20 සම්මත වූ පමණින් රට යහ ම`ගට ගෙන යා හැකිද? විප්ලවයක් බාගෙට කළ විට තත්ත්වය තිබුණාටත් වඩා භයානකය. මෙය මෛත‍්‍රී වටහාගත යුතුව ඇත. දේශපාලන කුමන්ත‍්‍රණ ගැන කීමේදී මෙවැනිම ආකාරයකින් කටයුතු කළ මාලදිවයිනේ හිටපු ජනපතිවරයා අද පත්ව ඇති තත්ත්වය ආදර්ශයට ගත මනාය. මේ අද යන ආකාරයට ගියොත් අනිවාර්යෙන් රට අරාජික වනවා පමණක් නොව ජනපති මෛත‍්‍රීටද එවැනි ඉරණමක් අත්වනු නොඅනුමානය. ජනපති මෛත‍්‍රීට අල්ලපු යූ.එන්.පී අත්තත් පය ගහපු ශ‍්‍රී.ලං.නි.ප. අත්තත් දෙකම නැති වනු ඇත. ඉදිරියේදී ඔහු පතන ජාතික ආණ්ඩු සංකල්පයද සිහිනයක් වනු ඇත. එහෙයින් පක්ෂ අර්බුද විසඳීම පසෙක තබා පරාජය වන්නට නියමිත ජනතා ද්‍රෝහී දේශපාලූවන්ගේ මැතිවරණ ජයග‍්‍රහණ සිහිනයන් සැබෑ කිරීමට නොවෙහෙසී පවතින යථාර්ථයට මුහුණ දෙමින් මහා මැතිවරණයකට ඉඩ සලස්වන්නේ නම් ඉදිරියේදී සිදුවන විනාශයන් මදක් හෝ අඩු වීමට ඉඩ ඇති බවද සටහන් කළ යුතුව ඇත.

 

 

 

Facebook
Twitter
LinkedIn