සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීම සඳහා මැදිහත් වීම පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයෝ අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර දිසානායක හමු වී සිය ස්තූතිය පළ කළහ.
එහිදී ඔවුන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ ජනාධිපති, ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටීම තම වගකීම බව ප්‍රකාශ කළේය.
අනෝජන් සිවරාසා නිදහස් කර ගැනීම වෙනුවෙන් සෞදි අරාබි රජයට මෙන්ම, ඒ සඳහා ජාති, ආගම්, පක්ෂ, පාට ආදී කිසිදු භේදයකින් තොරව මැදිහත් වූ සියලුදෙනාටද විශේෂ ස්තූතිය හිමි විය යුතු බව ජනාධිපති වැඩිදුරටත් සඳහන් කළේය.
අනෝජන් සිවරාසා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව ඔහුගේ දෙමාපියෝ ජනාධිපති වෙත දැනුම් දුන්හ.
තම පුතණුවන් මරණ දඬුවමින් මුදා ගෙන සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීම සඳහා මුල සිටම මැදිහත් වූ ජනාධිපති අනුර දිසානායකට මෙන්ම, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත්, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය ඇමති අරුන් හේමචන්ද්රටත්, සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් ඇතුළු කාර්ය මණ්ඩලයටත්, සෞදි අරාබිය වෙත ගොස් නීතිමය වශයෙන් මැදිහත්වීම් සිදු කළ නීතිඥවරුන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයන්ටත් අනෝජන් සිවරාසාගේ මව මෙහිදී සිය කෘතඥතාව පළ කළාය.
ජනාධිපති පළමුවරට හමු වූ අවස්ථාවේදී ලබා දුන් පොරොන්දුව පරිදි අනෝජන් සිවරාසා නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව ස්තූතිය පළ කළ සමාජ ක්‍රියාකාරී රාජ්කුමාර් රජීව්කාන්ත්, මේ කාලසීමාව තුළදීම බංග්ලාදේශ ජාතික යුවළකට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ සිදුවීම හේතුවෙන් අනෝජන් සිවරාසාගේ දෙමව්පියන් දැඩි මානසික පීඩනයකට පත්ව සිටි බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්රමසිංහද මෙම අවස්ථාවට එක් විය.
















