එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයට (UNGA81) සමගාමීව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් විදේශ ඇමතිවරු සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික හමුවීම් සහ සාකච්ඡා මාලාවක් පැවැත්වීය.
ඒ අනුව, ඇමති විජිත හේරත්, UNGA81 හි ඉහළ පෙළේ සතියට සමගාමීව, නේපාලයේ විදේශ කටයුතු ඇමති Shisir Khanal සමඟ සුහද හමුවක් පැවැත්වීය.
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර හවුල් ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාම සහ දෙරට අතර වඩාත් සමීප සහයෝගීතාවක් සඳහා නව අවස්ථා නිර්මාණය කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වී ඇති අතර පොදු දේශගුණික අභියෝගවලට මුහුණදීම සඳහා ඒකාබද්ධ ප්‍රයත්නයන් ද ඊට ඇතුළත් වී තිබේ.
මෑතකදී නේපාලයට බලපෑ දරුණු ගංවතුර තත්වයෙන් අනතුරුව, නේපාල රජය සහ ජනතාව වෙත සිය සහයෝගීතාව පළ කර ඇති ඇමති විජිත හේරත්, ඔවුන්ගේ යථා තත්වයට පත්වීමේ සහ නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා සිය සුබ පැතුම්ද පළ කර ඇත.




එමෙන්ම එම සැසිවාරයට සමගාමීව, ඇමති විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් පිළිබඳ උප මහලේකම් Jean-Pierre Lacroix සමඟ ඵලදායී සාකච්ඡාවක් පවත්වා තිබේ.
දිගුකාලීනව එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා දායක වන රටක් ලෙස, ගෝලීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම අරමුණු කරගත් ජාත්‍යන්තර සාම සාධක ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාව සිය අඛණ්ඩ කැපවීම සහ සාධනීය සහයෝගය යළි අවධාරණය කර ඇත.
ජාතික මානව හිමිකම් පරීක්ෂණ යාන්ත්‍රණයේ (NHRSM) ප්‍රගතිය පිළිබඳවද ඇමති විජිත හේරත් එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් පිළිබඳ උප මහලේකම් Jean-Pierre Lacroix දැනුවත් කර තිබේ.


ඊට අමතරව මෙහිදී UNGA81 හි ඉහළ පෙළේ සතියට සමගාමීව, ඇමති විජිත හේරත්, ඉරාන ඉස්ලාමීය ජනරජයේ විදේශ කටයුතු ඇමති ආචාර්ය Seyed Abbas Araghchi සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත.
වත්මන් කලාපීය සහ ජාත්‍යන්තර වර්ධනයන් පිළිබඳව දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන තිබේ.
කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්වය සමනය කර ගැනීමත්, සංවාදය සහ රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ ගැටලු සාමකාමීව විසඳා ගැනීමත් සඳහා ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඇමති විජිත හේරත් යළි අවධාරණය කර ඇත. කලාපීය ස්ථාවරත්වය හැකි ඉක්මනින් යළි ඇති කර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමේ වැදගත්කමද ඔහු අවධාරණය කර තිබේ.

එමෙන්ම එම සැසිවාරයට සමගාමීව, ඇමති විජිත හේරත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු ඇමති Sheikh Abdullah bin Zayed Al Nahyan හමු වී ඇත.
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන අවස්ථා පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ. වෙළෙඳාම, ආයෝජන, සංචාරක, ශ්‍රම සහයෝගීතාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ සුබසාධනය ඇතුළු කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.



මෙහිදී ඇමති විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres සමඟද සුහද සහ සාධනීය අදහස් හුවමාරුවක නිරත වී ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම සහ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය මෙන්ම සංහිඳියා ප්‍රයත්නයන් පිළිබඳව ඇමති විජිත හේරත් එක්සත් ජාතීන්ගේ මහලේකම් දැනුවත් කර තිබේ.
සංවර්ධනය වෙමින් පවතින රටවලට සහය වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීම සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය පිළිබඳවද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන ඇත.


එමෙන්ම මෙහිදී ඇමති විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සහාය පිළිබඳ උප මහලේකම් Atul Khare ද හමුවී තිබේ.
ශ්‍රී ලාංකික සාම සාධක භටයින් සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් බලය පවරන ලද මෙහෙයුම් සඳහා මෙහෙයුම් සහාය ලබාදීම සම්බන්ධයෙන් ඇමති විජිත හේරත් Atul Khare වෙත සිය ස්තුතිය පළ කර ඇත.
එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ දිගුකාලීන කැපවීමද විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් යළි අවධාරණය කර තිබේ.













