මේ වනවිට ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිස ඊයේ (30) දිල්ලි ප්‍රාන්තයේ මහ ඇමති රේඛා ගුප්තා හමුවී තිබේ. මෙම හමුවට දිල්ලි ප්‍රාන්තයේ අධ්‍යාපන ඇමති අශීෂ් සූද් ඇතුළු නියෝජිත පිරිසක්ද සහභාගි වී ඇත.
මෙහිදී දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුව විසින් වත්මන් කාලසීමාව තුළ ජනතාවගේ අවශ්‍යතා සහ සුබසාධනය වෙනුවෙන් මෙන්ම දිල්ලි නගරයේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති ප්‍රධාන ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳව මහ ඇමති රේඛා ගුප්තා ඇතුළු පිරිස විසින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිස දැනුවත් කරනු ලැබ තිබේ.
විශේෂයෙන් මෙහිදී පරිසර හිතකාමී ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීම සඳහා ක්‍රියාත්මක වන විදුලි බස් රථ ව්‍යාපෘති, විදුලි වාහන ප්‍රවර්ධනය හා ආරෝපණ පහසුකම් පුළුල් කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී ඇත. දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුව විදුලි බස් රථ ප්‍රවාහන පද්ධතිය පුළුල් කරමින් සිටින අතර, 2026 වසර තුළ විදුලි බස් රථ විශාල සංඛ්‍යාවක් එක් කර තිබෙන බවද මෙහිදී සඳහන් වී තිබේ.
එමෙන්ම කාන්තාවන්ගේ සුබසාධනය, ආර්ථික සවිබලගැන්වීම සහ ස්වාධීනත්වය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරී ඇත.
දරුවන්ගේ සහ ජනතාවගේ සුබසාධනය, අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුව ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු වී තිබේ.
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට සිදුවෙමින් පවතින සමාජ හා ආර්ථික වෙනස්කම්, ජනතාවගේ ජීවන තත්වය නඟාසිටුවීම සඳහා ක්‍රියාත්මක කරමින් පවතින සුබසාධන වැඩසටහන් පිළිබඳවද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් මෙහිදී අදහස් පළ කර ඇත.
විශේෂයෙන් රට පුරා තිරසාර පාරිසරික පිරිසිදුතාවක් ඇති කිරීම සඳහාත් මහජන ආකල්පමය වෙනසක් ඇති කිරීමය සඳහාත් ගෙන යන “Clean Sri Lanka” වැඩපිළිවෙළ පිළිබඳවද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී තිබේ.
මෙම හමුව දෙරටේ දේශපාලන හා පරිපාලන අත්දැකීම් මෙන්ම ජනතා සුබසාධනය හා සංවර්ධනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන වැඩසටහන් පිළිබඳ අත්දැකීම් හුවමාරු කරගැනීමට වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.












