කෙසෙල් වගා හානියකදී අක්කරයකට ලක්ෂ තුනක රක්ෂිත මුදලක් – නාමල් කරුණාරත්න

කෙසෙල් වගා හානියකදී අක්කරයකට ලක්ෂ තුනක රක්ෂිත මුදලක් – නාමල් කරුණාරත්න

කෙසෙල් වගාවට කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් රක්ෂණ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බවත් වගාවට සිදුවන හානියකදී අක්කරයකට ලක්ෂ තුනක රක්ෂිත මුදලක් හිමිවන බවත් කෘෂිකර්ම හා පශු සම්පත් වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අක්කරයකට ලබාදෙන රක්ෂිත මුදල වගා කරන කෙසෙල් ප්‍රභේදය අනුව වෙනස් වන බවත් කෙසෙල් වගාව සඳහා රක්ෂණාවරණය ලබා ගැනීමට ගොවි ජනතාව විසින් ගෙවිය යුතු වාරික මුදල වන්නේ රක්ෂිත මුදලින් 7%ක ප්‍රමාණයක් බවත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න පැවසීය.

ඔහු මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී බී. ආරියවංශ මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී වැඩිදුරටත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න සඳහන් කළේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2025 වසරේදී හෙක්ටයාර් 38,206ක කෙසෙල් වගාව සිදුකර ඇති බවය.

කෙසෙල් වගාව ආරක්ෂා කිරීමට කෙසෙල් අපනයන ගම්මානයක් ආරම්භ කිරීමට මෙන්ම කෙසෙල් කඳට අගය එකතු කිරීමේ ක්‍රියාවලියක්ද ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු පැවසීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්