හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර, එළැඹෙන 07 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (23) යළි නියෝග කර තිබේ.
ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ 2022 වසරේ විශ්‍රාමික ජනාධිපතිවරයෙකු වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් හා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ එම කාල වකවානුව තුළම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම තුළින් රජයේ මුදල් සාවධ්‍ය පරිහරණය සම්බන්ධයෙනි.
අදාල චෝදනාව සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය සුගීශ්වර බණ්ඩාර අත්අඩංගුවට ගනු ලැබුවේ 2026 ජූනි මාසයේ 18 වන දා ය.
සුගීෂ්වර බණ්ඩාර ඉහත තනතුරු දරමින් සිටියදී රජයේ වාහන අවභාවිතා කිරීමක් හා එහි සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමට කටයුතු කිරීමක් සම්බන්ධයෙන්ද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වන බව පොලිසිය පවසයි.
ඒ අනුව අත්අඩංගුවට ගැනුණු සුගීෂ්වර බණ්ඩාර අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කියා සිටියේ මොහු විශ්‍රාමික ජනාධිපතිගේ ලේකම් වශයෙන් රුපියල් දහනව ලක්ෂ තිස්තුන්දහස් හැටපහක (රු. 1,933,065) මුදලකුත් ව්‍යාපෘති අධ්යක්ෂ ජනරාල් ලෙස රුපියල් හතලිස් දෙලක්ෂ විසිහය දහස් ටසීය අසූ හතරයි සත පනස් නවයක් (රු. 4,226,884.59) අවභාවිත කර ඇති බවය.
ඒ අනුව පොදු දේපළ පනතේ 5 (1) යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ සැකකරු වැරදි සිදු කර ඇතැයි විමර්ශකයින් අධිකරණය හමුවේ සඳහන් කර ඇත.










