මාලිමා ආණ්ඩුව ජනතාවත් සමග ඇති ඩීල් එක හරියට ක්‍රියාත්මක කරනවා… නඩු නිසා පැත්ත මාරු කරමින් සිටි අය දැන් බය වෙලා… – ඇමති වසන්ත සමරසිංහ

මාලිමා ආණ්ඩුව ජනතාවත් සමග ඇති ඩීල් එක හරියට ක්‍රියාත්මක කරනවා… නඩු නිසා පැත්ත මාරු කරමින් සිටි අය දැන් බය වෙලා… – ඇමති වසන්ත සමරසිංහ

මාලිමා ආණ්ඩුව ජනතාවත් සමග ඇති ඩීල් එක හරියට ක්‍රියාත්මක කරන බවත් නඩු නිසා පැත්ත මාරු කරමින් සිටි අය දැන් බය වී සිටින බවත් වෙළඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර ඇමති වසන්ත සමරසිංහ අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ “ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” මැයෙන් පසුගිය 12 වනදා පොළොන්නරුවේදී පැවති ගොවිජන රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර ඇමති වසන්ත සමරසිංහ,

“අපි ආණ්ඩුවක් පිහිටුවා අවුරුදු දෙකක් සම්පූර්ණ වීමට ආසන්නව තිබියදී රැස්වීම් මාලාවක් පවත්වමින් යනවා. ජනාධිපති ධුරයට අපේ අනුර සහෝදරයා පත්කර ගත් පසු මහා මැතිවරණය පවත්වා ඓතිහාසික දේශපාලන පරිවර්තනයකට අවශ්‍ය තුනෙන් දෙකකට වැඩි බහුතරයක් සහිත ආණ්ඩුවක් පිහිටුවා ගත්තා. ආණ්ඩුව පටන් ගෙන ක්‍රියාකරගෙන යනකොට අපේම සමහර අයත් කීවා හොරු අල්ලන වේගය ටිකක් මදි බව. නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසිය, අධිකරණ පද්ධතිය, ඇතුළු ආයතන රැසක් සම්බන්ධයි. මේ සමහර ආයතන ප්‍රතිසංස්කරණය කරන්න වෙනවා. නීති අලුතින් හදන්න වෙනවා. ඒ වෙනුවෙන් ටික කාලයක් ගත වෙනකොට සමහර අය “කෝ හොරු ඇල්ලුවාද?” කියලා විහිළු කරන්න පටන් ගත්තා. නමුත් ඔබ මේ රැලියට සහභාගී වී සිටින අවස්ථාවේ අනුරාධපුරයේ පවත්වන රැස්වීම් වේදිකාවේ ඇප පිට කට්ටියක්, සැක පිට කට්ටියත් එකතු කරලා බලයක් තිබෙන බව පෙන්වන්න හදනවා. ඒ අතරේ පොළොන්නරුවේ ගොවි අම්මා, තාත්තා මෙතනට ඇවිල්ලා අපේ ආණ්ඩුවේ ශක්තිය පෙන්වා තිබෙනවා. මේ රටෙන් 27%ක් වන ගොවි ජනතාවගේ අපේක්ෂාව, වැඩකරන ජනතාවගේ, වෘත්තිය වේදීන්ගේ අපේක්ෂාවන් පොදි බැඳගෙන ආ මේ ආණ්ඩුව ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලා ඇතුළු පූජක පක්ෂයේ ආශීර්වාදය මැද තවත් ශක්තිමත් වෙමින් ඉදිරියට යනවා.

වෙනදා ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වුනු පාලකයන් ක්‍රියා කළ ආකාරය අපි කවුරුත් දන්නවා. අපේ  අනුර සහෝදරයා ජනාධිපති ධුරයට පත්වෙන විට තිබුණු ජනතා ප්‍රසාදය මේ වනවිට 75%කට වඩා වැඩි වී තිබෙන බව හෙළිවී තිබෙනවා. නමුත් ඉතිහාසයේ පත්වුනු පාලකයෙක් කුරුණෑගල පොල්වත්තක හැංගිලා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ඇහුව බව කියලා අවුරුදු තුනකට පස්සේ ඩීල් එකක් දාලා දින 52 හොර ආණ්ඩුවක් හැදුවා. මෛත්‍රිපාල ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැතිකමට පත් කළා. අනික් පැත්තෙන් ගෝඨාභය ජනාධිපතිකම දීලා ගියේ රනිල්ට. මේ විදිහට ප්‍රභූ පන්තියේ තිබුණු බලය 2024 දී පොදු ජනතාව ලෙස අපේ අතට බලය ලබාගෙන ඉදිරියට ගෙනයමින් ජනතාවාදී පාලනය ශක්තිමත් කරමින් සිටිනවා. නඩුවලින් බේරෙන්න ඩීල් දාලා පැත්ත මාරු කළ අය දැන් බය වෙලා ඉන්නේ මාලිමා ආණ්ඩුව ජනතාවත් එක්ක තිබෙන ඩීල් එක හරියට ක්‍රියාත්මක කරන නිසයි. නීතිය ඉදිරියේ වැරදිකරුවන් වන අය පෝලිමට හිරගෙවල්වල යනවා.

ගෙවී ගිය වසර දෙක ගැන ජනතාවත් එක්ක කතා කරන්නයි, අපි මේ රැලි මාලාව පවත්වන්නේ. මේ ප්‍රදේශයේ ජනතාවට දැන් තියෙන්නේ වී මිල පිළිබඳ ප‍්‍රශ්නය. 2024 දෙසැම්බර් වෙනකොට රටේ හාල් හිඟයත් ඇති වී තිබුණා. නමුත් අපි බලයට පත්වී මෙතෙක් රුපියල් 15,000ට තිබූ පොහොර සහනාධාරය රුපියල් 25,000දක්වා වැඩි කර, පස්සෙදි තවත් 5000ක් වැඩිකර දුන්නා. ඒ නිසාම යල – මහ දෙකන්නය හෙක්ටයාර් දහතුන් ලක්ෂයකට වැඩි වී වගා කළා. අපි බලයට පත් වනවිට ළූණු ගොවියාගේ අස්වැන්න මිලදී ගන්න වැඩ පිළිවෙළක් තිබුණේ නෑ. ඊට උත්තරයක් හැටියට රුපියල් 10කට තිබුණු ළූණු ආනයනය බද්ද රුපියල් 40දක්වා වැඩිකර මෙරට තුළ නිෂ්පාදනය සමස්ත ඉල්ලුමෙන් 4% සිට 15% දක්වා ඉහළ දමන්න හැකිවී තිබෙනවා. ආරම්භයේදී කිලෝ එක රුපියල් 140ට අරගෙන දැන් 160දක්වා වැඩි කර තිබෙනවා. ඒ වගේම අර්තාපල් ගොවියාටත් සාධාරණ මිලක් ලැබී තිබෙනවා. අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක දෙකෙන් අපේ රටේ වී නිෂ්පාදනයෙන් විශාල කොටසක් නිෂ්පාදනය කරනවා. කුඩා මෝල් හිමියන්, මහ මෝල් හිමියන් සමග සාකච්ඡා කර, වී මිලදී ගැනීම සඳහා මේ කන්න තුන වෙනුවෙන් රුපියල් මිලියන 28,000ක් යෙදවූවා. එතනින් නොනැවතී වී මෝල් හිමියන්ගේ හිමියන්ට රජයේ සහතික මිලට මිලදී ගන්නත් සල්ලි වෙන්කර දුන්නා. රුපියල් 120 සහතික මිලට වී මිලකර ගැනීම සිදුකරන අතර, නාඩු සම්බා සහ කීරි සම්බා වෙනුවෙන් වෙන වෙනම ප‍්‍රතිපත්ති සකස් කර තිබෙනවා. ඒ අතර රටේ වී නිෂ්පාදනයෙන් 15%ක් රැස්කළ හැකි මහා පරිමාණ අලුත් වී මොල් දෙකක් පිහිටුවන්න ආයෝජන ගෙනත් තිබෙනවා. ගොවියන්ගේ තෙත වී  ටිකත් සහතික මිලට ලබාගෙන වී ගොවියාගේ ප්‍රශ්නය සදහටම විසඳන ක්‍රියාමාර්ගවල අපි ඉන්නේ.

හොරකම, වංචාව, දූෂණය නවත්වා වී ගොවියාටත් ආයෝජකයාටත් සහන ලබාදී සුළු පරිමාණ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ශක්තිමත් කරමින් සිටිනවා. මහ පොළොවත් එක්ක හැප්පෙන ගොවියාගේ අස්වැන්නට නිසි මිලක් දෙන්න නම්, ක්‍රමවත් වැඩ පිළිවෙළක් තිබෙන්න ඕනෑ. වී අලෙවි මණ්ඩලයේ ගබඩා විශාල සංඛ්‍යාවක් නවීකරණය කරන්න තිබෙනවා. මුළු වී අලෙවි මණ්ඩලයම වහලා දාන්න හිටපු පාලකයන් තීරණය කරලයි තිබුණේ. වී අතිරික්තයත් එක්ක මිල පහත දැමීම නවත්වා ස්ථාවර කිරීමට මෝල් හිමියන් එකඟ කර ගත්තා. මේ දවස්වල අල ගොවියාට කිලෝ එක රුපියල් 360න් ඉහළ යනවා. ලූණු ගොවියාගේ නිෂාපාදන කිලෝ එක රුපියල් 240න් ඉහළ ගිහින් තිබෙනවා. ඒ තත්වය යටතේ රජයේ මැදිහත්වීමක් අවශ්‍ය නැහැ. අල, ළූණු, බඩඉරිඟු නිෂ්පාදනය තහවුරු කර ගන්න සමුපකාර තොග වෙළඳ සංස්ථාව හරහා රජය මැදිහත් වෙනවා. වැව් 15,000කින් පමණ ගොවිතැන් කරන ගොවීන්ගේ සුරක්ෂිතභාවයට ආණ්ඩුව සැලසුම් සහගතව පූර්ණ මැදිහත්වීම් කරමින් ඉන්නවා. ඒ අතර සමහර කල්ලි ගොවියන්ව අල්ලා ගන්න උත්සාහ කළා. ගොවියා ආරක්ෂා කරනවා වගේම පාරිභෝගිකයා ආරක්ෂා කර ගන්න කැකුළු රුපියල් 220ක නාඩු රුපියල් 230ක සම්බා රුපියල් 240ක පාලන මිලක් දැම්මා. තවමත් 100%ක් සාධාරණ උත්තරයක් ලැබී නැති බව අපි දන්නවා. ඒ අතරේ සමහරු ගේම් ගහන්න හදන බව අපි දන්නවා. 2025 සමස්ත වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 5.1යි. 2026දී විශාල වශයෙන් අස්වැන්න ඉහළ ගොස් මෙට්‍රික් ටොන් 5කට අස්වැන්නක් මේ වනවිටත් ලැබී තිබෙනවා. මේ ආකාරයට ගොවි ජනතාව සුරක්ෂිත කරන්න, වැව් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් මේ අවුරුද්දට රුපියල් මිලියන 35,000ක් වෙන්කර තිබෙනවා. මැදපෙරදිග යුද්ධය නිසා පොහොර මිල වැඩිවී තිබුණත් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා රුපියල් 7,000ක පමණ සහන මිලකට පොහොර මිටිය ලබා දුන්නා. මේ ආකාරයට රට පුරාම ඉන්න ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳමින් ඉදිරියට යන ආණ්ඩුවක් මේක. මෙතෙක් පත්වුණු ආණ්ඩු අවුරුදු දෙකක් යන කොට මේ තරම් වැඩ කොටසක් කර නැහැ. සුන්බුන් විපක්ෂයේ සියලුම කල්ලි එකතු වී රටම එක තැනකට එකතු කර පවත්වන රැස්වීම දූවිල්ලක් බවට පත්කරන්න පොළොන්නරු දිස්ත්‍රික්කයේ ගොවිජනතාව මෙතනදී සමත්වී සිටිනවා. මේ රට ගොඩනඟන්න, ඔබ සැම තැබූ විශ්වාසය ආරක්ෂා කරමින් ඉදිරියට යන්න තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට එන ලෙස ආරාධනා කරනවා.”

Facebook
Twitter
LinkedIn