ආදරය, සාමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉදිරියට ගෙන යන්න කැප වෙමු – ලාල්කාන්ත

ආදරය, සාමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉදිරියට ගෙන යන්න කැප වෙමු – ලාල්කාන්ත

“ලංකාවේ දේශපාලන ව්‍යාපාරවලින් වැඩියෙන්ම පීඩාවට සහ මර්දනයට පත් වුණේ ජනතා විමුක්ති පෙරමුණ. මේ රටේ බලයේ සිටි සෑම ආණ්ඩුවක්ම විවිධ ප‍්‍රමාණවලින් අපව මර්දනය කර තිබෙනවා. 88 – 89දී 60,000ක් මැරුවා. 71දී 10,000ක් මැරුවා. දේපළ විනාශ කළා. වෙනත් විවිධ බලපෑම් සහ පීඩනයන් සිදු කළා. බොහෝ දෙනෙක් හිතුවේ එහෙම දේශපාලන ව්‍යාපාරයක් බලයට ආවාම අනෙක් අයගෙන් පළි ගනියි කියලා, පීඩාවට පත්කරයි කියලා, නමුත් ඒ කිසිවක් වුණේ නැහැ. දෙස්-විදෙස්වල සිටින අපේ සතුරු බලවේග පවා ඒ ගැන ප‍්‍රශංසා කළා.” යැයි කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග ඇමති කේ.ඩී ලාල්කාන්ත සඳහන් කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ “ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” මැයෙන් පසුගිය 06 වනදා බුලත්සිංහලදී පැවති ජන රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග ඇමති කේ.ඩී ලාල්කාන්ත,

“බුලත්සිංහලදී පැවැත්වෙන මේ රැලියට වැව් වාන් දමනවා වගේ ජනතාවක් රැස්වී සිටිනවා. හැමෝම බලාගෙන ඉන්නේ අනුර සහෝදරයා මෙතනට එන තුරුයි. ඒ ආවාම සහෝදරත්වයෙන් පිරී ඉතිරී යනවා. අපේ රටේ ජනතාව අපේ අනුර සහෝදරයාව අපේ රටේ විධායක ජනාධිපති බවට පත්කර ගත්තා. ඊට පස්සේ අපේ රටේ ජනතාව ජාතික ජන බලවේගයෙන් 159 දෙනෙකු පාර්ලිමේන්තුවට යවලා ජනතාවගේ ආණ්ඩුවක් හදා ගත්තා. අවුරුදු 76ක් පැරණි ක‍්‍රමය වෙනස් කරන බවට අපි ජනතාවට පොරොන්දු වුණා. ඒ කාලය තුළ මුල් බැස ගත්ත දේශපාලනය ආණ්ඩුව පැත්තෙන් මුළුමනින්ම වෙනස් කර තිබෙනවා. ආර්ථිකය වෙනස් කරමින් යනවා. සමාජය දිහා බැලුවාම ලොකු පරිවර්තනයක් නොපෙනෙන තරමට වෙනස් කරමින් යනවා. අපේ සංස්කෘතියත් ඒ වගේ.

ජනතාව තම කටයුතු කර ගන්න රජයේ කාර්යාලවලට ගියාම තාමත් වැඩකර ගැනීම ඉතා අසීරු වී තිබෙනවා. ඒ තත්වයන් ගැන අපට ජනතාවගෙන් පැමිණිලි ලැබෙනවා. මම ඒ අයට දෙන උත්තරය “අපට බාර දුන්නේ හදපු රටක් නොවෙයි, විනාශ කළ රටක්”  බවයි. අපි ඒ රට හදමින් පවතිනවා. ජනාධිපති අනුර සහෝදරයා සහ ජනතාවගේ ආණ්ඩුව බලය ගත් විගස පළමුවෙන්ම කළේ ජනතාවට ආදරය, සාමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී භාවිතාවන් ලබාදීමයි. අවුරුදු 76ක ඉතිහාසයේ පමණක් නොවෙයි

ඊට කලින් ඉතිහාසයේ මෙවැනි දෙයක් සිදුවී නැහැ. ලෝකයේ වෙන කිසිම රටකත් සිදුවී නැහැ. අපේ සතුරන් පුදුමයට පත්වුණා මේ වෙනසට. ඉස්සර අලුතින් ආණ්ඩුවක් බලයට ආවාම ප‍්‍රතිවිරුද්ධ දේශපාලනඥයන්ටත් ගම්වල ඉන්න ඒ දේශපාලන අනුගාමිකයන්ටත් පහර දුන්නා. ගෙවල් ගිනි තිබ්බා. රැකියා අහිමි කළා. විවිධ දේශපාලන පළි ගැනීම් කළා. අපි ඒ තත්වය මුළුමනින්ම වෙනස් කළා.

ලංකාවේ දේශපාලන ව්‍යාපාරවලින් වැඩියෙන්ම පීඩාවට සහ මර්දනයට පත් වුණේ ජනතා විමුක්ති පෙරමුණ. මේ රටේ බලයේ සිටි සෑම ආණ්ඩුවක්ම විවිධ ප‍්‍රමාණවලින් අපව මර්දනය කර තිබෙනවා. 88 – 89දී 60,000ක් මැරුවා. 71දී 10,000ක් මැරුවා. දේපළ විනාශ කළා. වෙනත් විවිධ බලපෑම් සහ පීඩනයන් සිදු කළා. බොහෝ දෙනෙක් හිතුවේ එහෙම දේශපාලන ව්‍යාපාරයක් බලයට ආවාම අනෙක් අයගෙන් පළි ගනියි කියලා, පීඩාවට පත්කරයි කියලා, නමුත් ඒ කිසිවක් වුණේ නැහැ. දෙස්-විදෙස්වල සිටින අපේ සතුරු බලවේග පවා ඒ ගැන ප‍්‍රශංසා කළා.

අපි පටන් ගත්තේ එහෙම. ගොඩක් අයට අමතක වෙන නිසයි මේ මතක් කිරීම කළේ. මීට පෙර රාජ්‍ය ආයතනවල තිබුණේ බලයට පත්වෙන පක්ෂයට අදාළ වෘත්තීය සමිති ඒ ඒ ආයතනවල බලය අල්ලා ගැනීමයි. ඒ වෘත්තීය සමිති නායකයන් ප‍්‍රධාන පුටුවල වාඩි වෙනවා. අනෙක් අයට ගහලා පන්නනවා. ප‍්‍රධාන ගේට්ටුව ළඟ රැස්කරන ‘ටීම් එකක්’ අනෙක් අයට ගහලා පන්නනවා, තක්කඩිකමෙන්, අනීතිකව කරන මේ කි‍්‍රයාවන් අනුව ගම් දක්වා ගෙන යනවා. නමුත් අපේ වෘත්තීය සමිති ඒ කිසිවෙකට සහභාගී වුණේ නැහැ. අපේ වෘත්තීය සමිතිවල සාමාජිකත්වය ගන්න කියලා කිසි කෙනෙකුට බල කළේ නැහැ.

මෙතෙක් පැවැති සිස්ටම් එක වෙනස් කළ ආකාර තමයි ඒ. ජනතාව විසින් අපේ අනුර සහෝදරයාව ජනාධිපති කරලා තව ටික දවසකින් අවුරුදු දෙකක් පිරෙනවා. ඒ ගෙවී ගිය කාලය ගැන සමාලෝචනයක් කරන්නයි මේ රැස්වීම් කරන්නේ. ජනතාවට අපි දුන් ආදරය, සාමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඔස්සේ සුරක්ෂිත ආකාරයෙන් තවදුරටත් ඉදිරියට ගමන් කරමින් සිටිනවා. ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම ගැන කවුරුත් දන්න සරල ආයතනය C.T.B. එක. ගමට එන ඒ බස් එකේ ලාංඡනයේ තිබෙන පටියේ පාට පවා වෙනත් ආණ්ඩු පෙරලෙන කොට වෙනස් කළා. අපේ ආණ්ඩුව ඇවිල්ලා ඒ කිසි දෙයක් කළේ නෑ. මේවා දේශපාලන පරිවර්තනයක් කියලා කිසිවෙකුත් හිතුවාද? මේ වගේ තව බොහෝ දේවල් කියන්න තිබෙනවා.

අපේ රටේ මෙතෙක් පැවැති දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම අපේ අනුර සහෝදරයාත් අනෙකුත් සහෝදර සහෝදරියනුත් ඉතා හොඳින් සිදු කිරීමට තරම් විනයක් සහිතව අපේ පක්ෂය ගොඩනඟා තිබෙනවා. 1965දී අපේ පක්ෂය පිහිටුවා එදා ඉඳන් ලබාදුන් ගුණාත්මක වටිනාකම්, ආදර්ශයන්, පරිත්‍යාගයන් තුළින් සමාජය පරිවර්තනයක් කිරීම දක්වා අපේ විනය පවත්වාගෙන යාමේ ආදර්ශ ලබාදී තිබෙනවා. මේ ගෙවුණු අවුරුදු දෙකේ ආදර්ශයන් සහ කැපකිරීම් ඉදිරි අවුරුදු තුන සහ එතැනින් ඉදිරියටත් ගෙන යන්න අපි හැමෝම එක්ව නැගී සිටිමු. එක්ව ශක්තිමත්ව වැඩ කරමු. ධෛර්යය සම්පන්නව කටයුතු කරමු. තව යන්න තිබෙන දුර විශාලයි. අපි හැමෝම අභියෝගවලට මුහුණ දී ඒවා ජයගෙන අවසන් ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවෙමු. අපේ රටට ජයවේවා !!!”

Facebook
Twitter
LinkedIn