බැසිල්ට ඇප නෑ… ඇප මුදලුත් රාජසන්තකයි…

බැසිල්ට ඇප නෑ… ඇප මුදලුත් රාජසන්තකයි…

මාතර බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන 60කට මිලදී ගැනීම සම්බන්ධයෙන් වු නඩු‍වට අවස්ථා කිහිපයකදී පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමටත් ඔහුගේ ඇපකරුවන්ගෙන් ඇප මුදල් අය කර ගැනීමටත් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක අද (18) නියෝග කර තිබේ.

තවද අදාළ ඇපකරුවන් තිදෙනා ඇප මුදල් නොගෙවන්නේ නම් ඔවුන්ට එම මුදල් ගෙවීම දඩයක් ලෙස සලකන බවත් එම දඩ මුදල් නොගෙවන්නේ නම් මාස 06ක සිර දඩුවම් නියම කරන බවත් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් දැනුම් දී ඇත.

ඒ අනුව සැකකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප තුනකට අත්සන් කර සිටි ඇපකරුවන් තිදෙනා අදාල ලක්ෂ 10 බැගින් වු ලක්ෂ 30 ක මුදල අදම අධිකරණය වෙත ගෙවා තිබේ.

මෙම නඩුවට අදාලව සැකකාර හිටපු ඇමති බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෑනීම සදහා නිකුත් කර තිබු විවෘත වරෙන්තුව ලබන ඔක්තොම්බර් මස 27 වැනි දින දක්වා දීර්ඝ කිරීමටද මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක වැඩි දුරටත් නියෝග කර ඇත.

පැමිණිල්ල වෙනුවෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සමග නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබේ.

සැකකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වාගේ උපදෙස් පරිදි නීතිවේදීන් කණ්ඩායමක් පෙනී සිට ඇත.

Facebook
Twitter
LinkedIn