ශ්‍රී ලංකා නීතිඥ සංගමය පසුගිය කාලයේ ඔවුන්ගේ විෂය සීමාවෙන් බාහිරව තිබූ විගණකාධිපති පත් කිරීම පිළිබඳව සිදු වූ ප්‍රමාදය සම්බන්ධයෙන් නිවේදන නිකුත් කිරීමට තරම් සංවේදී වුවද, මේ වන විට අගවිනිසුරුවරයා ඉලක්ක කර ගනිමින් එල්ල කරමින් යන ප්‍රහාර සම්බන්ධයෙන් අනුගමනය කරන නිහඬතාවය දැඩි ලෙස ප්‍රශ්න කෙරෙමින් පවතී.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය වෙත මේ සම්බන්ධයෙන් යවන ලද ලිපියක් කෙරෙහි විශේෂ සමාජ අවධානයක් යොමු වී ඇත. නීතිඥ ජගත් අබේනායක විසින් ඊයේ (10) යවන ලද එම ලිපියෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ප්‍රශ්න කර ඇත. මේ වන විට අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඉලක්ක කර ගනිමින් ද්වේශ සහගත, අපහාසාත්මක සහ වෙනත් අන්තවාදී ආකල්පද මතු කරමින් ප්‍රහාර දියත් කිරීම හමුවේ නිහඬව සිටීම පිළිබඳව එම සංගමයේ සාමාජිකයෙකු ලෙස සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසද, ඉල්ලීමක් කර තිබේ.
රජය විසින් ගැසට් කර තිබෙන අධිකරණ පද්ධතියේ සමස්ත සංශෝධන පිළිබඳව සමාජය පුළුල් සංවාදයක යෙදී සිටින අතර, සමගි ජන බලවේගයේ නායක සජිත් පේමදාස ඇතුළු විපක්ෂයේ කණ්ඩායම් ගණනාවක් ආරාධිතයන් ලෙස සහභාගී කර ගනිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජූලි 04 වැනි දින විශේෂ මහා සභාවක් පැවැත්වීය. දේශපාලන අවශ්‍යතාව මත එම සභාව පැවැත්වීම පිළිබඳව චෝදනා එල්ලවීමත් සමග තවත් විශේෂ සභා රැස්වීමක් පැවැත්වීමට තරම් ක්‍රියාකාරී වූ නීතිඥ සංගමය අගවිනිසුරුවරයාට එරෙහිව දියත් කර ඇති සංවිධානාත්මක ප්‍රචාර ඉදිරියේ දැඩි නිහඬතාවයක යෙදී සිටී.










