ජනතාවගේ පරමාධිපත්‍යය කියන්නේ ඉතා කුඩා කණ්ඩායමක් නොවෙයි – නීතිඥ සංජය නල්ලපෙරුම

ජනතාවගේ පරමාධිපත්‍යය කියන්නේ ඉතා කුඩා කණ්ඩායමක් නොවෙයි – නීතිඥ සංජය නල්ලපෙරුම

ජනතාවගේ පරමාධිපත්‍යය කියන්නේ ඉතා කුඩා කණ්ඩායමක් නොවන බව නීතිඥ සංජය නල්ලපෙරුම අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (28) කොළඹදී පැවති ජනවරමේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ සංජය නල්ලපෙරුම,

“යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන උගත් පිරිසක් කතිකාවක යෙදී සිටින නිසා ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ සම්බන්ධයෙන් කෙටි අදහසක් මම දක්වන්නම්. මේ සංශෝධනයට විරුද්ධ වීමේ අයිතියක් ඕනෑම කෙනෙකුට තිබෙනවා. හැබැයි විරුද්ධ වීමේ අයිතියත් එක්ක විරුද්ධ වීමේ නිශ්චිත ඇත්ත හේතුවත් කියන්න ඕනෑ. නමුත් මේ දක්වා විරුද්ධ බව කියන කිසිම පාර්ශ්වයක් විරුද්ධ වීමට හේතු දක්වන්නේ නැහැ. මේ විරුද්ධ වෙන අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර දී තිබෙන ජනතා පරමාධිපත්‍යය පිළිගන්නවා. එහෙම නම් 4(III) ව්‍යවස්ථාවේ පරමාධිපත්‍යය පැහැදිලි කර තිබෙනවා. ජනතාවගේ පරමාධිපත්‍යය කියන්නේ ඉතා කුඩා කණ්ඩායමක් නොවෙයි. නීතිඥ සංගමයේ හෝ විපක්ෂයේ හෝ කණ්ඩායමක් පමණක් නොවෙයි, ඊට වඩා බරපතළ ලෙස මේ රටේ දෙකෝටියකට වැඩි මහජනතාව වෙත පරමාධිපත්‍යය බලය තිබෙනවා. ජනතාවගේ අධිකරණ බලය තිබෙන්නේ ජනතාව සතුවයි. එහෙම නම් මේ හැමදේකම අවසාන ප්‍රතිඵලය ලෙස නඩු විභාග කඩිනම් කිරීමේ වාසිය ලැබෙන්නේ ජනතාවටයි. මේ වන විට ඩිජිටල් කරණය හඳුන්වා දීම, අලුත් උසාවි ස්ථාපිත කිරීම, නව විනිසුරුවරුන් පත්කර ගැනීම, වැනි ක්‍රියාමාර්ගවල දිගුවක් හැටියට විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීමේ යෝජනාව පවතිනවා. මේ සම්බන්ධයෙන් බිල්ලෙක් මැවීමෙන් කරන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය කෙලෙසීමක්.

ජනතාව අපේක්ෂා කළ දේ ව්‍යවස්ථාදායකයේ වෙනස් වීමකින් සිදුරක තිබෙනවා. අද ආණ්ඩුවේ සියලුම මන්ත්‍රිවරුන් සාමාන්‍ය ජනතාව වගේම ක්‍රියාකාරකමින් සිටිනවා. ඒක සිස්ටම් චේන්ජ් එකක් නොවෙයිද? ඒ වගේම විධායකයේ ජනාධිපතිවරයා කොයි තරම් වෙනස් වී සිටිනවාද?. එහෙම නම් අධිකරණයේ මේ අදාළ සංශෝධන සිදු කෙරෙන්න  ඕනෑ. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීම නීත්‍යානුකූලවයි සිදු කරන්නේ. ඒක ජනතාව බලාපොරොත්තු වෙන දෙයක්. එහෙම නොකරනවා නම් තමයි, ජනතාවගේ පරමාධිපත්‍යය බලය විනාශ කරන්නේ. මේ සංශෝධනය දෙස ජනතාවගේ පැත්තෙන් බලන්න  ඕනෑ. අධිකරණ ක්‍රියාවලිය වේගවත් කර, නඩු විභාග ඉක්මන් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන යම් බලවේගයක් සිටින බව අපට පැහැදිලි වෙනවා. නමුත් දෙකෝටියකට අධික ජනතාව වෙනුවෙන් අපි මේ සංශෝධනය නොකළොත් තමයි ජන වරමට එරෙහි වෙන්නේ. උපරිමාධිකරණවල විනිසුරුවරුන්ගේ පරිචය යුක්තිය පසිඳලීමේදී නිවැරදි තීන්දු ලබාදීම සඳහා  ඉතාම වැදගත් වෙනවා.

Facebook
Twitter
LinkedIn