මෙරටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 700කට වැඩි මුදලක් විදෙස් රටවලට යවමින් ඩොලර් ජාවාරමේ නිරතවීම සම්බන්ධයෙන් පසුගිය 19 වනදා පොලිස් මූල්ය විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් ජෙෆ්රි මොහොමඩ් නම් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
රටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් 2023 වසරේ සිට අමෙරිකානු ඩොලර් රටින් බැහැර කිරීමේ ජාවාරමක් පිළිබඳව පසුගියදා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේය.
මෙම මුදල් ප්රේෂණය කර ඇති බවට විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, කොළඹ කොටුව ප්රදේශයේ පවත්වාගෙන යන A.Y ඉන්වෙස්ට්මන්ට් නම් ආයතනයක් හරහාය.
අත්අඩංගුවට ගත් සැකකරු ජෙෆ්රි මොහොමඩ් නැමැත්තා හරහා කොළඹ ප්රධාන පෙලේ භාණ්ඩ ආනයනකරුවන් කූට ලෙස ඩොලර් විදෙස් රටවලට යවා භාණ්ඩ නොගෙන්වා රජයට විශාල වශයෙන් තීරුබදු අහිමිකර ඇති බවද හෙළි වී ඇත.
අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇත්තේ, මත්ද්රව්ය ජවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලින් අනතුරුවය.
ඒ අනුව මෙරට සිටින ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවන්ද ඔවුන් ජාවාරමෙන් උපයාගන්නා මුදල් මෙම පුද්ගලයා හරහා විදෙස් රටවලට ගෙන්වාගන්නා බවට තොරතුරු අනාවරණ වී තිබේ.
සැකකරු මෙම ජාවාරම සඳහා සාක්ෂරතාවය අඩු පුද්ගලයන් 36 දෙනෙකු නමින් බැංකු ගිණුම් ආරම්භ කර ඇති බවත් ඊට ඇතැම් බැංකු නිලධාරීන්ගෙන් ආධාර අනුබල ලැබී ඇති බවත් පොලිසිය සැක පළ කරයි.
එක් අමරිකානු ඩොලරයක් වෙනුවෙන් රුපියල් දෙකක කොමිස් මුදලක් තමා ලබාගන්නා බව සැකකරු පවසා ඇත.
ඒ අනුව ඔහු පුසගිය 20 වෙනිදා කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක් රඳවාගෙන ප්රශ්න කිරීමට පොලිසිය අවසර ලබාගෙන තිබිණි.
එමෙන්ම මෙම ජාවාරමෙන් සැකකරු මිලදීගත් රුපියල් කෝටි 20කට අධික වටිනාකමකින් යුත් අධි සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක්ද විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.
මේ අතර මොහු සමග ගනුදෙනු කළ ව්යාපාරිකයන් පිළිබඳව විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.










