චාමර සම්පත්ට එරෙහි නඩුවේ සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම අරඹයි

චාමර සම්පත්ට එරෙහි නඩුවේ සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම අරඹයි

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඌව පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ සිදු කළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පවරා ඇති දූෂණ නඩුවේ පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුගෙන් තවදුරටත් හරස් ප්‍රශ්න විමසීම ලබන ජූලි 01 වැනිදා කොළඹ මහාධිකරණය දින නියම කර ඇත.

මෙම නඩුව පවරා ඇත්තේ විත්තිකරු ඌව පළාත් සභාවේ මහ ඇමැති ලෙස හා මුදල්, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, බලශක්ති සහ ඉඩම් ඇමැති ලෙස කටයුතු කළ 2016 වසරේදී සිදු කළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙනි.

ප්‍රදේශයේ පෙරපාසල් දරුවන් අතර පාසල් බෑග් බෙදා දීමට බව පවසා විත්තිකරු ප්‍රදේශයේ රාජ්‍ය බැංකු කිහිපයකින් අනුග්‍රාහකත්ව චෙක්පත් ලබාගෙන ඒවා පළාත් සභාවේ ගිණුමට බැර නොකර සිය පෞද්ගලික ගිණුමකට යොමුකර පළාත් සභාවේ මුදලින් පාසල් බෑග් බෙදා දීම සිදු කර ඇති බව විත්තිකරුට එරෙහි චෝදනාවල සඳහන් වේ.

කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ පෙරේදා (17) මෙම නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු ලෙස නම් කළ බැංකු කළමනාකාරවරයකු වන ඩබ්.එම්. නිහාල් ජයසිරි වීරසිංහ යන අය සාක්ෂි ලබාදී ඇත. ඔහුගේ මූලික සාක්ෂිය අවසානයේ විත්තියේ නීතිඥවරයා විසින් දීර්ඝ ලෙස හරස් ප්‍රශ්න විමසන ලදි. සාක්ෂිකරුගෙන් තවදුරටත් හරස් ප්‍රශ්න විමසීමට අවශ්‍යය බව දැන්වීම හේතුවෙන් නඩු විභාගය වෙනත් දිනයකට කල් තැබීමට සිදු විය.

මෙම නඩුවේ පළමු විත්තිකරු ලෙස ඌව පළාතේ හිටපු මහ ඇමැති ඩී.ඒ චාමර සම්පත් දසනායකත්, දෙවැනි විත්තිකරු ලෙස එම පළාත් සභාවේ හිටපු ප්‍රධාන ගණකාධිකාරි ඒ.බී.එම් වසන්ත ජයලත් යන අයත් නම් කර ඇත.

ඌව පළාතේ පූර්ව ළමාවිය සංවර්ධන කටයුතු සඳහා බදුල්ල ලංකා බැංකු ශාඛාවෙන් 2015 දෙසැම්බර් මස 09 වැනිදා ප්‍රධාන ඇමතිගේ නමට නිකුත් කරන ලද, අංක 833861 දරන රුපියල් ලක්ෂ පහක (රු. 500,000) වටිනාකමකින් යුත් චෙක්පතක්, පළාත් සභා ගිණුමකට බැර කිරීමට පියවර නොගෙන සිය පෞද්ගලික පරිහරණයට ලබා ගත් බවට හිටපු පළාත් මහා ඇමති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

පළාත් සභාවට යොමුකළ චෙක්පතක් පෞද්ගලික ගිණුමකට යොමු කිරීමේ චෝදනා යටතේ පළාත් සභාවේ හිටපු ප්‍රධාන ගණකාධිකාරි මෙම නඩුවේ දෙවැනි චුදිත ලෙස නම්කර ඇත. ඒ අනුව, චුදිතයන්ට එරෙහිව දූෂණය, ඒ සඳහා අනුබල දීම සහ කුමන්ත්‍රණය ඇතුළු අධි චෝදනා 06ක් යටතේ නඩු පවරා තිබේ.

1994 අංක 19 සහ 2018 අංක 20 දරන සංශෝධිත දූෂණ විරෝධි පනතේ 70 වැනි වගන්තිය ප්‍රකාරව 2025 වසරේ දෙසැම්බර් 19දා චෝදනා ගොනුකර ඇත.

රුපියල් ලක්ෂ 50ක මුදල් හා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකරු මුදාහැර ඇත. පැමිණිල්ල විසින් ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ලේකම් බී.සී. කලණ ඇතුළු නිලධාරීන් 13 දෙනකු රජයේ සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබ ඇත.

ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස විත්තිය වෙනුවෙන් පෙනී සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්