ආර්ථික අර්බුදය පැවැති 2022 වසරේදී කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන් ලක්ෂ එකහමාරකට ආසන්න පිරිසකට රුපියල් 3,500 බැගින් මුදල් ගෙවූ බව සඳහන් කරමින් කොළඹ මහ නගර සභාවේ සිදුව ඇතැයි පැවසෙන මුදල් වංචාවක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම මුදල ආසන්න වශයෙන් කෝටි 50කට ආසන්න වේ.
කොළඹ මහ නගර සභාවේ සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන අංශය විසින් එම විමර්ශනය ආරම්භ කර ඇති බව කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
සැබෑ ලෙසම එම මුදල් අඩු ආදායම්ලාභීන්ට ගෙවා තිබේද? ඒ සඳහා අවසර ලබාදුන්නේ කවුරුන්ද? ආදි සියලු තොරතුරු මේ වනවිටත් විමර්ශන නිලධාරින්ගේ පරීක්ෂාවට ලක්වෙමින් ඇත.
කොළඹ මහ නගර සභාවේ වංචා දූෂණ සම්බන්ධයෙන් කොමිසම විමර්ශන කටයුතු ආරම්භ කිරීමත් සමඟ නගර සභාවේ නිලධාරීන් බියට පත්ව රෝගී වී නගර සභාවට පැමිණීම මඟහැර සිටින බවටද තොරතුරු කොමිසමට ලැබී තිබේ.
“අපි හිතුවට වඩා ලොකු දේවල් නගර සභාව තුළ සිදුව තිබෙනවා. දක්ෂ විමර්ශන අංශයක් අපිට තිබෙනවා. රහස් පොලිසියේ අයත් ඉන්නවා. ඒ අය හැම දෙයක්ම සොයන්න පටන් අරගෙනයි තියෙන්නේ.” යැයිද කොමිසමේ උසස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
වාහන නැවතුම්පොළ බදු දීමෙන්, වැසිකිළි බදු දීමේදීන් විශාල වශයෙන් වංචා සිදුව ඇති බව මූලික විමර්ශනවලින්ම පෙනී ගොස් තිබේ. ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන පැවැත්වෙන බව කොමිසමේ තොරතුරු අනාවරණය කළේය. 2010 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාව තුළ සිදු වී ඇතැයි සැලකෙන දූෂණ ක්රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, බලය, රජයේ සම්පත් සහ වරප්රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අවභාවිතය, නීත්යනුකූල නොවන බඳවා ගැනීම්, පත්කිරීම් සහ ප්රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම, නිශ්චල හෝ චංචල දේපළ කුලියට හෝ බද්දට දීමේදී සිදු කර ඇති අක්රමිකතා, නිසි කාර්ය පරිපාටියෙන් බැහැරව සිදු කර ඇති නඩු කටයුතු සහ සමථ කිරීම්, ඉහත ක්රියා හේතුවෙන් රජයේ වත්කම්වලට හෝ ආදායමට සිදු වූ බරපතළ අලාභ සහ හානි පිළිබඳ සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ජනාධිපති අනුර දිසානායක විසින් පත්කරනු ලැබීය.
සංශෝධිත 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතේ (393 අධිකාරිය වන ) 02 වැනි වගන්තියෙහි විධිවිධාන ප්රකාරව 2025 දෙසැම්බර් 30 වැනි දින අංක 2469/08 දරන අතිවිශේෂ ගැසට් පත්රය මඟින් පත් කරන ලද මෙම පරීක්ෂණ කොමිෂන් සභාව කොළඹ 03, ගාලු පාර, අංක 152 ස්ථානයේ ස්ථාපිත කර ඇත.
හිටපු මහාධිකරණ විනිසුරු නීතිඥ පියසේන රණසිංහ මෙම කොමිසන් සභාවේ සභාපති ලෙස කටයුතු කරයි.
කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස ශ්රී ලංකා ගණකාධිකාරි සේවයේ (1 ශ්රේණිය) ඊ.ආර්.එම්.එස්.එච් ඒකනායක සහ විශ්රාමික ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස් වික්රමසිංහ කටයුතු කරති.










