හොරණ – බටගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්නෙන් මිය ගිය ගණන 12 දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂ අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු හොරණ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
සෙනෙහසසේ නවාතැන නමින් පවත්වාගෙන ගිය මෙම වැඩිහිටි නිවාසය ඊයේ (03) රාත්‍රි ගනිගෙන තිබිණි.
අනතුරෙන් තවත් පුද්ගලයන් 06 දෙනෙකු බරපතළ තුවාල ලබා හොරණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මහෙස්ත්‍රාත් ලක්මිණි විධානගමගේ අද (04) පෙරවරුවේදී එම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදුක තිබිණි.
ගින්නට හසුව පිළිස්සී තිබූ මළ සිරුරු මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ පිටතට ගැනීමට කටයුතු කෙරුණු අතර, එම සිරුරු අතර තිබී ගින්නට හසුව මියගිය පූසෙකුගේ සිරුරක්ද හමු වී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී මෙම වැඩිහිටි නිවාසයේ පුද්ගලයන් 72 දෙනෙකු නවාතැන් ගෙන සිට ඇති අතර ගින්න හටගත් අවස්ථාවේදීම පුද්ගලයන් 10 දෙනෙකු ගොඩනැගිල්ල තුළදීම පිළිස්සී මියගොස් සිට ඇත.
හොරණ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්නෙන් බේරාගත් වැඩිහිටියන් 50 දෙනෙකු පමණ ඊයේ රාත්‍රියේ බටගොඩ කනිෂ්ට විද්‍යාලයේ තාවකාලිකව නවාතැන් ගන්වා තිබූ අතර අද පෙරවරුවේදී ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන්, එම පිරිස මෙම වැඩිහිටි නිවාසයේම අනු ශාඛාවක් වන ගල්පාත ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසය වෙත ආරක්ෂිතව යොමු කිරීමට පියවර ගෙන තිබේ.
ගින්න හට ගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අඟුරුවාතොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.










