ගුප්තා හීනෙන් පෙනී නාමල් අවසිහියෙන් දොඩවයි

ගුප්තා හීනෙන් පෙනී නාමල් අවසිහියෙන් දොඩවයි

ලබන ජූලි මස 07 වෙනි දින සිට ක්‍රිස් මුදල් වංචාව සම්බන්ධ නඩුව විභාගයට ගැනීමේ දින නියම කිරීමත් සමඟ එහි මූලික චූදිතයා වන නාමල් රාජපක්ෂ අවසිහියෙන් විවිධ ප්‍රකාශ කිරීමට පටන් ගෙන ඇත.

මෙම නඩුවේ දී ඉන්දියාවේ සිට පැමිණෙන ක්‍රිස් ගනුදෙනුවට අදාළ රාජේන්ද්‍ර ගුප්තා සහ අමිත් පටෙල් යන දෙදෙනා ද පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වී සිටිති. මෙම පසුබිම තුළ නාමල් රාජපක්ෂ ඔහුගේ මාධ්‍යකරුවන් ඉදිරියේ ප්‍රකාශ කරන්නේ ආණ්ඩුවට එරෙහිව ජනමතයක් පවතින බව ය.

ක්‍රිස් මූල්‍ය අපරාධය පිළිබඳ විමර්ශන 2015 දී මුල් වරට ආරම්භ කළ අතර, එය මේ දක්වා යට ගසා තිබිණි. එහෙත් ජූලි 07 වෙනි දින සිට අධිකරණය ඉදිරියේ එම නඩු විභාගය පැවැත්වෙන අතර, පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දීමට දින 30ක් අවශ්‍ය බව ද විත්තිය වෙනුවෙන් සාක්ෂි දීමට දින 2ක් අවශ්‍ය බව ද මූලික එකඟතාවලට පැමිණ තිබේ.

මේ අනුව, ඉන්දියානු නියෝජිතයන් ද පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වීමෙන් ඉක්මනින් ම නඩු විභාගය අවසන් වනු ඇතැයි පුරෝකථන පළ කර තිබේ.

ක්‍රිෂ් ගනුදෙනුවේ ඉතිහාසය

2016 ජූලි මස 11 වන දින මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලබන්නේ ක්‍රිස් ගෘප් නැමති සමාගමෙන් රුපියල් ලක්ෂ 700 ක මුදලක් ලබාගැනීමේ චෝදනාවටය. ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනයට පිණිස ලබාගත් එකී මුදල පෞද්ගලික බැංකු ගිණුමක තැන්පත් කළ බව ප්‍රකාශ කෙරුණි. ඇමෙරිකන් ඩොලර් මිලියන 650ක ව්‍යාපෘතියක් සඳහා ඉන්දියානු ක්‍රිෂ් (Krrish Square) සමාගමට කොටුව ට්‍රාන්ස්වර්ක් ඉඩම ලබාදීමේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ රුපියල් කෝටි 45 ක කොමිස් මුදලක් ලබාගෙන ඇති බව එදා පොලීසිය අනාවරණය කරගෙන තිබුණි.

මෙකී ගනුදෙනුව සඳහා ඔහු සමග තවත් කෝටිපති ව්‍යාපාරිකයන් කිහිප දෙනකු සහ ප්‍රභූ දේශපාලනඥයන් තිදෙනකු සම්බන්ධ වී ඇති බව විමර්ශනවලදී හෙළිවිය.

ක්‍රිෂ් සමාගම සහ නාගරික සංවර්ධන අධිකාරිය අතර ඇතිකරගත් ගිවිසුම සඳහා නීති උපදෙස් ලබාදීමත් ගිවිසුම කෙටුම්පත් කිරීමත් සිදුකර තිබුණේ නාමල් රාජපක්ෂටම අයත් NR Associates නමැති නීතිඥ සමාගම විසිනි.

අදාළ නීතිඥ සමාගම මේ කටයුත්ත සඳහා යොදාගන්නා ලෙස ක්‍රිෂ් සමාගමට දැනුම් දී ඇත්තේ එවකට විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපතිවරයා වූ ආචාර්ය නාලක ගොඩහේවායි. වර්තමානයේ ඔහු සජබ සමග එක්ව සිටී

ව්‍යාපෘතියේ මූලික අවසරය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5 ක් (රුපියල් කෝටි 45ක්) ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් ලබා ගන්නා ලෙස නාලක ගොඩහේවාට කෙටි පණිවුඩයක් (Text Message) ඔස්සේ දැනුම් දී ඇත්තේ ද නාමල් රාජපක්ෂයි. අදාළ මුදල සිංගප්පූරුවේ HSBC බැංකුවේ ගිණුමක තැන්පත් කර තිබෙන බව කියැවේ. 2012 වසරේ අත්සන් කළ ගිවිසුමට අනුව ක්‍රිෂ් සමාගමෙන් ලැබිය යුතු රුපියල් මිලියන 450 ක සම්පූර්ණ මුදල තමන්ට මෙතෙක් ලබා දී නැතැයි නාගරික සංවර්ධන අධිකාරිය පැවසුවත් ක්‍රිෂ් සමාගම සඳහන් කළේ ව්‍යාපෘතියට අදාළ සියලූ මුදල් තමන් ගෙවා ඇති බවය.

මේ තත්ත්වය හේතුවෙන් ව්‍යාපෘතිය අක්‍රීයව පවතින අතර ප්‍රමාද ගාස්තුව ද සමඟ රුපියල් මිලියන 550 ක මුදලක් ගෙවන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රිෂ් සමාගමට දැනුම්දී තිබුණා. කෙසේ වෙතත් නාමල් රාජපක්ෂගේ දැනුම්දීම මත විනිමය හා සුරැකුම්පත් කොමිසමේ හිටපු සභාපතිවරයා රුපියල් මිලියන 40 ක මුදලක් ක්‍රිෂ් සමාගමට නැවත ගෙවා ඇතැයි එකල කියැවිණි. සිංගප්පූරු HSBC බැංකුවේ රුපියල් මිලියන 450 ක මුදලක තැන්පත් කිරීමට අදාළ රිසිට් පත සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් වාර්තා වාර්තා විය.

දිනමිණ (2025 ජනවාරි 29)

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්