හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධ මුදල් විශුද්ධිකරණ වරදට ආධාර සහ අනුබල දී ඇතැයි අනාවරණය වී ඇති ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල රුපියල් හැත්තෑ හතර කෝටියක (කෝටි 74.8)ක මුදලක් නීති විරෝධී ලෙස උපයා විශුද්ධිකරණය කිරීමේ ක්‍රියාවලියට සැකකරු සහාය දී ඇති බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.
තමාට හිමි නොවන මුදලක් බව දැන දැනම, එම මුදලින් රුපියල් කෝටි 3ක මුදලක් තම සන්තකයේ තබාගැනීම මොහුට එරෙහි ඇති ප්‍රධානම චෝදනාවයි.
ඒ අනුව 2011 අංක 40 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වැරදි සිදුකිරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා මොහුට එල්ල වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන පෙබරවාරි මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.










