රටත් ජනතාවත් රැවටූ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහා රජයට පවරා ගනු! – සමජවාදී ශිෂ්‍ය සංගමය

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වංචනික ලෙස පිහිටුවා ඇති බවත් එයට ශිෂ්‍ය කණ්ඩායම් 06ක් බඳවාගෙන තිබෙන බවත් එක් ශිෂ්‍යයෙකුගෙන් රුපියල් ලක්ෂ 70 බැගින් ලබාගනිමින් සිසුන් 373 දෙනෙකුගේ කෝටි ගණනක මුදල් ලබාගෙන ඇති බැවින් තවදුරටත් රටටත් ජනතාවටත් වංචා කිරීමට ඉඩ නොදී මෙම ආයතනය රජයට පවරාගෙන වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කරන ලෙස ආණ්ඩුවට බල කර සිටින බව දන්වමින් සමාජවාදී වාදී ශිෂ්‍ය සංගමය විසින් මාධ්‍ය නිවෙදනයක් එවා ඇත.

 

එම ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් යුතුව එවා ඇති එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පළ වේ.

“මාළඹේ පෞද්ගලික වෛද්‍යවිද්‍යාලය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව විසින් පත්කළ කමිටුවේ වාර්තාව 2012.02.28 දින නිකුත් කර ඇත. එම කමිටුවේ සභාපතිවරයා වූයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතාය.

මෙම වාර්තාවේ පහත සිදුවීම් හෙළිදරව් වී ඇත.

01. 2008.30.17 දින මෙම ආයතනය වෙනුවෙන් වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයට අවසර ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති නම South Asian Institute of Technology and Managment (SAITM)ය. පසුව මෙම නම වංචනික ලෙස South Asian Institute of  Technology and Medicine ලෙස වෙනස් කර ඇත.

02. ආයෝජන මණ්ඩලයේ අවසර ලබාගැනීමේදී වෛද්‍ය උපාධියක් පිරිනැමීම සඳහා කිසිසේත් අවසර ඉල්ලා නැති අතර අවසර ඉල්ලා ඇත්තේ සෞඛ්‍ය විද්‍යාව හා හෙද උපාධි පිරිනැමීමේ අවසරය පමණි.

03. 2008.03.31 දින ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලය SAITM ආයතනයට අවසර ලබාදී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි අනුමැතියකින් පසුව සෞඛ්‍ය විද්‍යාව හා හෙද උපාධිය පිරිනමන ලෙසය. නමුත් වෛද්‍ය උපාධියක් පිරිනැමීමට නොව හෙද උපාධියක් පිරිනැමීමට පවා මෙම ආයතනයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අවසර ලැබී නැත.

04. 2008.10.01 ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලය හා SAITM ආයතනය ගිවිසුමක් අත්සන් කිරීමට පෙරද සිසුන් කණ්ඩායම් දෙකක් බඳවාගෙන ඇත.

05. SAITM ආයතනය සඳහන් කරන අනුබද්ධ විශ්වවිද්‍යාලය වූ රුසියාවේ නිෂ්නිනොව්ගොරොද් විශ්වවිද්‍යාලය මේ වනතෙක් ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉල්ලූම්පතක්වත් ඉදිරිපත් කර නැත. නමුත් වෙළඳ දැන්වීම්වල පළකල ඇත්තේ මෙම රුසියානු විශ්වවිද්‍යාලය සඳහා ශී‍්‍ර ලංකාවේ අනුමැතිය ලැබී ඇති බවයි.

06. ශී‍්‍ර ලංකාවේ වෛද්‍ය සභාව මෙම ආයතනය සඳහා අවසර දීම ප‍්‍රතික්‍ෂේප කර තිබියදීත් 2009.05.10 දින පුවත්පත් දැන්වීම් පළකරමින් ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් බඳවාගෙන ඇත.

07. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම ආයතනය සඳහා නවක සිසුන් බඳවාගැනීම අත්හිටුවා තිබියදීත් 05 වෙනි හා 06 වෙනි කණ්ඩායම් බඳවාගෙන ඇත.

එසේම ප‍්‍රතිපත්තිමය වශයෙන් මෙම ආයතනය පිළිගන්නා බවට උසස් තත්වයේ රෝහලක් ඉදිකිරීම සඳහා සුභපැතුම් පත් පිරිනමමින් 2009.01.07 දින සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් එවකට එහි පෞද්ගලික සෞඛ්‍ය අංශය සංවර්ධනය පිළිබඳ අධ්‍යක්‍ෂකවරයා ලිපියක් නිකුත් කර ඇත. බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකවරයා බවට පත් වූ ඔහු විසින් 2010.10.13 SAITM ආයතනය සඳහා ශික්ෂණ රෝහල් ලෙස හෝමාගම, අවිස්සාවේල්ල හා තලංගම යන රජයේ රෝහල් භාවිතා කිරීමට අවසර ලබාදී ඇත. එම නිලධාරියාගේ දියණියක්ද මුදලට වෛද්‍ය උපාධිය ලබැගැනීම සඳහා මෙම වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වී ඇති බවද වාර්තා වේ.

2010 අගෝස්තු 30 දින එස්.බී. දිසානායක අමාත්‍යවරයා විශේෂ ගැසට් නිවේදනයක් මගින් වෛද්‍ය උපාධිය ප‍්‍රධානය සඳහා අවසර ලබාදුන් අතර මෙම ආයතනයට ඉන් නොනැවතී මහජන බැංකුවෙන් රුපියල් මිලියන 600ක ණය ආධාරයක්ද ලබාදීමට ඇමතිවරයා මැදිහත් විය. මෙසේ වංචනික ලෙස පිහිටුවා පවත්වාගෙන යන මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ශිෂ්‍ය කණ්ඩායම් 06ක් බඳවාගෙන ඇත. එක් ශිෂ්‍යයෙකුගෙන් රුපියල් ලක්ෂ 70 බැගින් ලබාගනිමින් සිසුන් 373 දෙනෙකුගේ කෝටි ගණනක මුදල් ලබාගෙන ඇත. එහෙයින් තවදුරටත් රටටත් ජනතාවටත් වංචා කිරීමට ඉඩ නොදී මෙම ආයතනය රජයට පවරාගෙන වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කරන ලෙස අප ආණ්ඩුවට බල කර සිටිමු. එසේම මුදලට උපාධි ලබාගැනීමට ගොස් වංචාවට ගොදුරු වූ සිසුන්ට සාධාරණ වන්දියක් ලබාදීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටිමු.”

 

Facebook
Twitter
LinkedIn