අල, ලූනු ආනයනය කර බෙදා හරින ව්‍යාපාරයක් පවත්වාගෙන යන මුවාවෙන් විදේශීය දුම්වැටි මහා පරිමාණයෙන් මෙරටට හොර රහසේ රැගෙනවිත් අලෙවි කිරීමේ මහා පරිමාණයේ ජාවාරමක් සුරාබදු දෙපාර්තමේන්තුවේ කුරුණෑගල කාර්යාලයේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබේ.
පසුව රුපියල් කෝටි 06ක් පමණ වටිනා දුම්වැටි තොගයක් සමඟ වත්තල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සහ තවත් අයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා වත්තල, ඇලකන්දේ පදිංචිකරුවෙකි.
ඩුබායි සිට මෙරටට රැගෙන විත් තිබූ මේ දුම්වැටි තොගය මුල්ලේරියාව පොලිස් වසමේ කැලණිමුල්ල ප්‍රදේශයේ ගබඩාවකින් සොයාගෙන ඇත. මේ දුම්වැටි තොගය තිබී ඇත්තේ කාටුන් 2,000ක් ලෙසිනි.
කුරුණෑගලින් බැහැර ප්‍රදේශයක මේ ජාවාරම සිදු වෙමින් පැවති බැවින් වැටලීම සිදු කරන්නේ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න මහතාගේ විශේෂ අවසරයකිනි.
ගැණුම්කරුවකු ලෙස උපාය දූතයකු යොදවා පළමුව දුම්වැටි බණ්ඩල 500ක් මිලදී ගැනීමට සුරාබදු නිලධාරීන් පියවර ගෙන ඇත. අනතුරුව කැලණියේ නිවෙස වටලා ඡාවාරමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු සමඟ දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුට අයත් කැලණිමුල්ල ප්‍රදේශයේ තිබූ ගබඩාවක තිබී අනෙක් දුම්වැටි තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. එම ස්ථානයේ සිගරැට් 200 බැගින් අඩංගු බණ්ඩල 1,500ක් තිබූ බව සුරාබදු නිලධාරීහු පවසති.
මේ නීති විරෝධී ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති දෙදෙනා කැලණිය සහ වත්තල, ඇලකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. ඔවුන් මෙරටට මහා පරිමාණයෙන් අල, ලූනූ, පාවහන් සහ රෙදිපිළි ආනයනය කිරීමේ ව්‍යාපාරයක නිරත ධනවත් ව්‍යාපාරිකයන් බවට හඳුනාගෙන තිබේ. ඔවුන් මෙරටට ගෙන්වන විවිධ භාණ්ඩ තුළ සඟවා ගෙන දුම්වැටි ගෙන්වා මේ නීති විරෝධී ජාවාරම දිගු කලක සිට පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පාවහන් ව්‍යාපාරයද තීරු බදුවලට හසු නොවන ආකාරයට වංචනික ලෙස සිදු කරගෙන යන්නක් බවද සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කරගෙන ඇත.
දුම්වැටි ප්‍රවාහනයට යොදා ගත් ප්‍රධාන සැකකරුට අයත් වටිනා ජීප් රථයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත.










